meegahathenna-incident

ඉන්ධන ලබා දෙනවා යැයි පවසා කළු කඩ මුදලාලි කෙනකු ලෙසින් පෙනී සිටි පුද්ගලයකු රුපියල් එක් ලක්ෂ පනස් හතරදහසක් වංචා කිරීමක් සම්බන්ධයෙන් පෙරේදා(28) පැමිණිල්ලක් ලැබී ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.  මීගහතැන්න ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනකු සහ තවත් පුද්ගලයන් සිව්දෙනකු වැලිපැන්න, නවුත්තුඩුව ප්‍රදේශයේ දී මෙම වංචාවට හසු වී ඇති අතර, මීගහතැන්න ත්‍රිරෝද රථ රියදුරකු සමග වැලිපැන්න ඉන්ධන පෝලිමේ දී හඳුනාගෙන ඇති පුද්ගලයකු මෙම වංචාව සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.



මුදල් වංචා කළ පුද්ගලයා ඉන්ධන පෝලිමේදී ත්‍රිරෝද රථ රියැදුරා සමග කුළුපගවී තමන් සන්තකයේ පෙට්‍රල් විශාල ප්‍රමාණයක් විකිණීමට තිබෙන බවත්, ලීටරයක් රුපියල් 550ට දිය හැකි බවත් පවසා ඇතැයිද, ඒ අනුව ත්‍රිරෝද රථ රියැදුරු  තම මිතුරන්ට ඒ බව පැවසීමෙන් පසු මෙම ගනුදෙනුව සඳහා එකඟතාවයකට පැමිණ 27 දින සවස නවුත්තුඩුව ප්‍රදේශයට ඉන්ධන රැගෙන ඒම සඳහා ගොස් ඇතැයි පොලිසිය පවසයි. පෙට්‍රල් ලබා ගැනීම සදහා හයදෙනකු විසින් එකතු කරන ලද මුදල් ද රැගත් රියදුරන් තිදෙනකු ත්‍රිරෝද රථ දෙකකින් ජාවාරම්කරු දැනුම් දුන් පරිදි නවුත්තුඩුව ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදී ජාවාරම්කරු හමුවී කතාබහ කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස් හතර දහසක මුදල් ඔහුට ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
-ප්‍රේමතිලක පෙරමුණ -