lester-road

සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී අක්‍රමිකතා රැසක් සිදු වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි එම කාරක සභාව ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත. රුපියල් කෝටි දහයකට වැඩි ඇස්තමේන්තුවක් මත ඉදි කෙරෙන  කෞතුකාගාරයේ සහ සිනමා පාසලේ  ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 5 වැනිදාය. ඉදිකිරීම් කටයුතු එම වර්ෂයේ ජුලි මස 10 වැනි දිනට අවසන් කිරිමට නියමිතව තිබුණ ද එම කටයුතු අතරමග නතර වීම පිළිබඳව ද කෝප් කමිටුවේ අවධානය යොමු වී ඇත.



කොප් කමිටුව කළ විමසුමකදී ජාතික චිත්‍රපට සංස්ථාවේ අභ්‍යන්තර විගණක පවසා ඇත්තේ, එම කටයුත්ත සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වූ බවයි. ඉදිකිරීම්වල පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 60ක බිල්පත් ඉදිරිපත් වූ බවත්, ඉන් ලක්ෂ 40ක බිල්පත් නිරවුල් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි කෝප්  කමිටු වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට ප්‍රකාශයක් දී ඇති සංස්ථාවේ නිලධාරියකු පවසා ඇත්තේ, එම ක්‍රියාවලියේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරියකු පත්කර ඇති බවයි.  මේ තොරතුරු සඳහන් වන්නේ කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි වාර්තාවේය.