leasing-2000-again

ලීසිං වාරික දෙක තුනක් ගෙවීම පැහැරහැර ඇති වාහන පවා අත්පත් කර ගනිමින් තිබෙන නිසා දැනට ක්‍රියාත්මක වන ලීසිං සම්බන්ධ නීතිරීති අහෝසි කර 2000 වසරට පෙර පැවති ලීසිං සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නීති ක්‍රියාත්මක කළ යුතු බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය සඳහන් කරයි. 

අදාළ නීතිරීති නැවතත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීමක් මුල්කර ගනිමින් 20දා සහ 22වැනිදා විරෝධතා ව්‍යාපාර දෙකක් පවත්වන බවද එම සංගමයේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පැවසීය.

ලීසිං වාරික නොගෙවීම මත වාහනයක් අත්පත් කර ගැනීමට යාමේදී වත්තේම, පොල්ගොල්ල, මීගම්මනවත්ත යන ප්‍රදේශයේදී සුළු ව්‍යාපාරිකයෙකු මරණයට පත් වී තිබෙන බවත්, මීට පෙර තවත් වාහන හිමියෙකු තුවාල ලබා තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මේ අනුව මෙම සිද්ධීන්වලට විරෝධය පා සහ පවතින නීතිය වෙනස් කරන ලෙස ඉල්ලා 20 දා මහනුවර නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, 22වැනිදා මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී සියලුම ප්‍රවාහන සංගම් ඒකාබද්ධ වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් සංජය මහවත්ත මහතා පවසා සිටියේය.

දැනට තිබෙන නීතියට අනුව මැර පිරිස් පැමිණි වාහන අත්පත් කර ගැනීම සිදුකරන බවත්, අත්පත් කර ගන්නා වාහනය වෙනත් පුද්ගලයෙකුට අලෙවි කළ පසුත් සමහර අවස්ථාව වාහන හිමියන්ට ලීසිං සමාගම්වලට මුදල් ගෙවීමට සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය. 2000 වසරට පෙර ලීසිං සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ, කුලි සින්නක්කර පනත බවත්, මෙම පනතට අනුව ලීසිං වාරික පැහැරහැරීමේදී වාහනයක් අත්පත් කර ගනු ලැබුවේ නීත්‍යනුකූල ක්‍රමවේදයන්ට අනුව බවත් සංජය මහවත්ත මහතා පවසා සිටියේය.



මීට අමතරව කුලි සින්නක්කර පනතට අනුව වාහනයක ලීසිං වාරිකවලින් 75%ක් ගෙවීමෙන් පසු වාහන හිමියාට වාහනයේ අයිතිය හිමිවන බවත්, පවතින නීතියට අනුව ලීසිං වාරික 100%ක් ගෙවන තෙක් වාහනයේ අයිතිය හිමි නොවන බවත් හෙතෙම සඳහන් කළේය. පසුගිය කාලයේ පැවති කෝවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන වාරික කිහිපයක් ගෙවීම පැහැර හැර තිබුණද, අදාළ වාහනය අත්පත් කරගත නොහැකි ආකාරයට මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබු බවත්,

එම චක්‍රලේඛය මීට මාස දෙකකට පෙර භාණ්ඩාගාරය ඉවත්කළ බවත් සංජය මහවත්ත මහතා පවසා සිටියේය.මේ අනුව සමහර ලීසිං සමාගම් බලහත්කාරයෙන් වාහන අත්පත් කර ගැනීම ආරම්භ කළ බවත්, වාහනවලට වාරික ගෙවීමට නොහැකි වී තිබෙන්නේ, පවතින ආර්ථික අර්බුදය නිසා බවත් ඒ මහතා සඳහන් කළේය.