court-incident

සෙල්ලම් කිරීම ගැන කෝපවී තම දියණියට පිහියෙන් කොටන්නේ මොන අම්මා දැයි කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා “නංගිලා දෙදෙනා සමග සබන් පෙණවලින් සෙල්ලම් කළ දස හැවිරිදි සිය වැඩිමල් දියණිය හිසට හා අතට පිහියෙන් කෙටු මවකට” දඩුවම් නියම කරමින් ඊයේ (21) ප‍්‍රශ්න කළේය.   ගැහැනු දරුවන් දේවත්වයෙන් සලකනු ලබන ද්‍රවිඩ කාන්තාවක මෙලෙස තම පෙර විවාහයේ 10 හැවිරිදි දියණියට පිහියෙන් කෙටීම බරපතළ තත්ත්වයක් බව අවධාරණය කළ විනිසුරුවරයා ඊට දැඩි දඬුවම් දිය යුතු වුවත් ඇයට සිරදඬුවම් දුන්නොත් බාල දියණියන් දෙදෙනා අනාරක්‍ෂිත වන හෙයින් ඇයට අත්හිටවූ සිරදඬුවම් නියම කළේය. චෝදනාවලට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තිදරු මවකටය.



2018 වසරේදී බාලවයස්කාර තම දියණියට පිහියෙන් ගසා තුවාල කළ බවට විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා තිබිණි. මෙම නඩුවේ චෝදනා විත්තිකාරියට කියවා දුන් අවස්ථාවේදී ඇය එම චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරණයට  දැනුම් දුන්නාය.  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකාරිය විවාහ දෙකක් කරගත් කාන්තාවක බවත් පෙර විවාහයෙන් ඇයට දස හැවිරිදි දියණියක සිටින  බවත් පසු විවාහයෙන් ඇයට තවත් දියණියන් දෙදෙනකු ලැබී  ඇති බවත් පැවසීය.  දියණියන් තිදෙනා සමග එක නිවසේ වාසය කරද්දී විත්තිකාරිය  රෙදි සෝදන අවස්ථාවේදී නංගිලා දෙදෙනා සමග දස හැවිරිදි  වැඩිමල් දියණිය සබන් පෙණවලින් සෙල්ලම් කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් කෝප වූ විත්තිකාරිය ඇය අත තිබූ පිහියෙන් වැඩිමල් දියණියගේ හිසට හා අතට පහරදී ඇතැයි ද ඉන් ඇයගේ හිසට හා අතේ ඇඟිල්ලකට තුවාල වී ඇතැයි ද දැනුම් දුන් රජයේ නීතිඥවරයා තමාගේම අම්මා බාලවයස්කාර දියණියට මෙලෙස කෘර ලෙස සැලකීම බරපතළ තත්ත්වයක් නිසා ඇයට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාවගේ මානසික පීඩනය හේතුවෙන් මේ තත්වය ඇති වූ බවත් ඇය තවත් දියණියන් දෙදෙනකුගේ මවක වන හෙයින් ඇයට දැඩි දඬුවම් නියම කළහොත් අනෙක් දරුවන් දෙදෙනා අනාරක්ෂිත වන හෙයින් ඇයට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා,

“දරුවන් සබන් පෙණ සමග සෙල්ලම් කිරීම සාමාන්‍ය තත්වයක් බවත්, එලෙස සෙල්ලම් කිරීම ගැන කෝපවී තම දියණියට පිහියෙන් කොටන්නේ මොන අම්මාද?" යනුවෙන් ප්‍රශ්න කළේය. ද්‍රවිඩ සංස්කෘතිය තුළ ගැහැනු දරුවන් දේවත්වයෙන් සලකනු ලබන බවත් ද්‍රවිඩ කාන්තාවක වන විත්තිකාරිය විසින් මෙලෙස තම 10 හැවිරිදි දියණියට පිහියෙන් කෙටීම බරපතළ තත්ත්වයක් බවත් අවධාරණය කළ විනිසුරුවරයා මෙවැනි කාන්තාවකට  දැඩි දඬුවම් නියම කළ යුතු වුවත් ඇයට සිරදඬුවම් නියම  කරනු ලැබුවහොත් අනෙක් දරුවන් දෙදෙනාට දැඩි අගතියක්  වන බව ද පෙන්වා දුන්නේත්ය.  ඒ අනුව විත්තිකාරියට වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර, එය වසර 15කට අත්හිටවූ විනිසුරුවරයා රුපියල් විසිදහසක දඩයකටද ඇය යටත් කළේය. අගතියට පත් 10 හැවිරිදි දියණියගේ බැංකු ගිණුමේ රුපියල් 75,000ක වන්දි මුදලක් තැන්පත් කිරීමට විත්තිකාර මවට නියම කළ විනිසුරුවරයා දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් වසර 1 1/2ක සිරදඬුවමක් ද ඇයට නියම කළේය.


 -මනෝප්‍රිය ගුණසේකර-