kahatuduwa-fire-house-update

කහතුඩුව මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් මියගිය අඹු සැමි යුවළගේ මෘත දේහ පිළිබද අවසන් කටයුතු ඊයේ 28 වැනිදා සවස හෝමාගම දියගම ප්‍රදේශයේ මල් ශාලාවක පැවැත්වෙමින් තිබියදී පිළිස්සුම් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දහනව හැවිරිදි දියණිය ද මියගිය බව පවුලේ ඥාතීහු පවසති.  මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හෝමාගම මාගම්මන එස්.ඒ. ලසන්ත බුද්ධික රණසිංහ (පියා) නාලිකා දේවී මව සහ ඔවුන්ගේ දියණිය වන කාවින්දී රණසිංහ යන තිදෙනාය. මියගිය අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය හා සය හැවිරිදි දියණිය සමග දෙමහල් නිවසේ  පහළ මාලයේ කාමරයක් තුළ සිටිය දී ඉකුත්  25 වැනිදා රාත්‍රී රාත්‍රී 8.00ට පමණ මෙම ගින්න හටගෙන තිබුණි.


පොලිසිය සැක කරන්නේ ගින්නටඉ හේතුව පෙට්‍රල් ගබාඩා කළ යම් උපකරණයක් පුපුරායාම බවයි.

මෙම ගින්නෙන් අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ අතර සය හැවිරිදි දියණිය සුළු තුවාල ලබා සිටි අතර ඔවුහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියහ.

පසුව අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටත් සුළු තුවාල ලබා සිටි සය හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කළ අතර එම අවස්ථාවේ දී බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි පුද්ගලයා මියගිය අතර පසුදා 26වැනිදා උදෑසන කාන්තාව මියගොස්, වැඩිමහල් දියණිය ඊයේ 28වැනිදා මිය ගියාය.

 මියගිය අඹුසැමි යුවළගේ සිරුරු සියයට අසූ දෙකක් පිළිස්සි තිබී ඇති අතර ඒ හේතුවෙන් සිරුරේ හටගත් බරපතළ තුවාල මෙම හදිසි අනතුරු මරණවලට හේතුව බව පශ්චාත් මරණ පරික්ෂණවළ දී තහවුරු වී තිබුනි. අවසන් කටයුතු සිදුකළ මළ සිරුරු දෙකම අධික ලෙස පිළිස්සී තිබීම  හේතුවෙන් ඥාතීන්ට බාර දී තිබුණේ මුද්‍රා තැබීමෙනි.

ගින්නට හසුවී ඉතිරිවූ එකම සිව් හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ගින්නෙන් පසු ඇය මිත්තණිය සමග තනි වූවාය.