kahathuduwa-house-fire

ඊයේ (25) රාත්‍රීයේ 10 ට පමණ කහතුඩුව - දොලේකඩේ හංදිය මාගම්මන ප්‍රදේශයේ නිවසක කාමරයක ගින්නක් හට ගෙන එකම පවුලේ මව පියා හා දියණියන් දෙන්නා ගින්නට හසුව තිබේ.
සිද්ධිය නිසා මේ වනවිට අධික පිළිස්සුම් තුවාල ලද එකී අඹුසැමියන් මියගොස් ඇති අතර දැරියන් දෙන්නා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.  මිය ගොස් ඇත්තේ, ගින්නට හසුව තුවාල ලබා සිටි 41 හැවිරිදි පියා සහ 38 හැවිරිදි මවයි.
ගින්නට හසුව තුවාල ලැබූ ගැහැනු දරුවන් දෙදෙනාගෙන් සිව් හැවිරිදි කුඩා දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 19 හැවිරිදි අනෙක් දියණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රාත්‍රි 10 ට පමණ ගින්න හටගෙන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. නිවසේ කාමරයක ඇතිවූ ගින්නෙන් පසුව එකම පවුලේ හතර දෙනා පිළිස්සුම් තුවාල සහිතව හෝමාගම රෝහලට මුලින් ඇතුළත්
කිරීමෙන් පසුව පියා මුලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව මව හා දැරියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනෙක් රෝහල් වලට මාරු කර යවා තිබේ. පසුව කොළඹ ජාතික රෝහලේදී මව මියගියාය.

 ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් තහවුරු වී නැත.

මෙම ගින්න සිදුවන අවස්ථාවේ නිවසේ වැඩිහිටි කාන්තාවක වෙනත් කාමරයක නිදා සිටි අතර ඇය මෙම ගින්න ගැන කිසිවක් හෝ නිවැසියන් ගින්න නිසා රෝහල්ගත කළ බවක් නොදැන සිටියාය. රාත්‍රී 10 ට ගින්න ඇතිවී තිබුණත් මෙම කාන්තාව ගින්න ගැන දැනගත්තේ උදේ 7.30 ට අවදිවූ පසු අසල්වාසී ඥාතියෙකුගෙන් බව පවසා ඇත.