johnston-arrest-reject-request

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මැයි 09 වනදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නීතිපති උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන් නම් කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
 වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.



අදාළ සිදුවීම සිදුවී දින ගණනාවක් යනතුරු කිසිදු ප්‍රකාශයක් හෝ පොලිසියට ලබා නොදී පාර්ලිමේන්තුවටද පැමිණි ජොන්ස්ටන් හිටපු ඇමතිවරයා පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 5 ක පමණ ප්‍රකාශයක් ලබාදුන් අතර ඔහු ප්‍රකාශ ලබාදෙමින් සිටියදී දෙපාර්තමේන්තුව ඉදිරිපිට අරගලකරුවන් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවක්ද පවත්වන ලදි. අනතුරුව ඔහු පස්සා දොරින් නික්ම ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ නිර්දේශ සලකා බැලූ නීතිපතිවරයා ඔහු අත්අඩංගුවට ගන්නැයි දන්වා තිබූ අතර අදාළ නඩු විභාගය අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා මේ බව අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව පසුගිය සිකුරාදා සිට පොලිස් කන්ඩායම් කිහිපයක් යොදවා ජොන්ස්ටන් සොයමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියද ඇමතිවරයා අල්ලාගත්තේ නැත.
 ජොන්ස්ටන් ප්‍රනාන්දු තමන් අල්ලන්නට එපැයි පෙත්සමක් යොමු කරන්නේ මෙම සිද්ධිදාමයෙන් පසුය.
පසුගිය 09 වනදා සාමකාමී අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කරන ආකාරයේ උසිගැන්වීමක් කළැයි චෝදනා ලද අගමැති මහින්ද රාජපක්ෂද මේ වනවිට ආරක්ෂිතව කල් ගත කරමින් සිටී.