Dowry-crisis-in-India-over-the-suicide-of-three-sisters-from-the-same-family

ඉන්දියාව තුළ දරුණු සමාජ ගැටලුවක්ව පවතින දැවැදී පිළිබඳ අර්බුදයේ තවත් අවාසනාවන්ත අවස්ථාවක් පසුගියදා එරට රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් නුවර වාර්තා වී තිබේ. මෙහිදී එකම පවුලේ සහෝදරියන් තිදෙනකු සිය ස්වාමිවරුන්ගේ පාර්ශ්වයෙන් එල්ල වූ මෙම දැවැදි පිළිබද ප්‍රශ්න නිසා කනස්සල්ලට පත්ව සිය දරුවන්ද සමග සියදිවි නසා ගැනීම අවාසනාවන්ත සිදුවීමයි. 



කාලු, කමලේෂ් සහ මම්තා මීනා ලෙස හැදින්වෙන මෙම තිදෙනා අවුරුදු 20 - 30ත් අතර වයසේ පසු වූ එකම පවුලේ සහෝදරියෝය. ඔවුන් විවාහ වී ඇත්තේද එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු සමගිනි. ඔවුන් ජීවත්ව ඇත්තේද එකම නිවෙසකය. එහෙත් ඔවුන්ගේ මවුපියන්ට එම පවුලෙන් ඉල්ලන තරමට දෑවැද්දක් ලබාදීමට නොහැකිවී තිබේ.

ඒ නිසාම මේ තිදෙනා ස්වාමියාගේ ඥාතීන්ගෙන් නිරන්තර අපවාදවලට ලක්වූ බව පැවසෙයි. ඔවුන් තිදෙනා මෙලස තම නිවසේ පිහිටි ළිඳට පැන සියදිවි නසා ගැනීමට පෙරාතුව ඒ සඳහා හේතු වූ කරුණු සඳහන් කර ඇති අතර ස්වාමි ඥාතීන්ගෙන් එල්ල වූ පීඩනය නිසා බව පවසා තිබේ.

"අපට මැරෙන්න වුවමනාවක් තිබුණේ නෑ, ඒත් මේ අපවාද අහගෙන ඉන්නවාට වඩා මියයන එක හොදයි. මේ මරණවලට හේතුව අපගේ ස්වාමියන්ගේ මව සහ සහෝදරියයි. අපි සියලු දෙනා එකටම මැරෙනවා ඒක දිනපතා මිය යමින් සිටිනවාට වඩා හොදයි.” යනුව‍ෙන් එම සටහනේ සඳහන්ව තිබේ.මෙහිදී වැඩිමහල් සහෝදරිය වන කාලු සිය සිවුහැවිරිදි පුත්‍රයා සහ අතදරුවාද සමග ළිඳට පැන තිබේ.

එසේම ඇගේ සහෝදරියන් දෙදෙනාම මියයන අවස්ථාව වනවිට ගැබිනියන්ව සිටි බව පැවසෙයි. සිය දියණියන් තිදෙනාගේ සහ මුණුබුරන්ගේ මරණ පිළිබඳ අදහස් දක්වා ඇති පියා, "අපි ඒ පවුලට ගොඩක් දේවල් දුන්නා. ඇඳවල් දුන්නා, රූපවාහිනී අරන් දුන්නා, ශීතකරණ අරන් දුන්නා. ඒත් ඒ කිසිවකින් ඒගොල්ලන් සෑහීමකට පත්වුණේ නෑ. මගේ දරුවන් ජීවත් වුණේ අපායක.” යනුවෙන් පවසා තිබේ  මෙලෙස ඔවුන් සියලු දෙනා සියදිවි නසා ගැනීමට හේතු වූ මෙම දැවැදි පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ජායිපූර් පොලීසිය පවසයි. එහිදී ඔවුන්ගේ ස්වාමීන් සහ ඔවුන්ගේ මව මෙන්ම නෑනාද අත්අඩංගුවට ගෙන තිබේ.