indian-sri-lanka-two-women

අක්කරපත්තුවේ එක්දරු මවක හා ඇය සමග සමරිසි ඇසුරක් පවත්වන්නට ගිය බව කියන ඉන්දියාවේ තරුණියක කල්මුණේ මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර අද (27) වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අක්කරපත්තු මහේස්ත්‍රාත් එම්.එච්.එම්. හංසා මහතා නියෝග කළේය. 
අක්කරපත්තුව පදිංචි තරුණියක ඉන්දියාවේ පදිංචි 24 හැවිරිදි තරුණියක අන්තර්ජාලය හරහා හඳුනාගත් පසුව ඉන්දීය තරුණිය තම මිතුරිය බැලීම සඳහා ලංකාවට ඉකුත් 22 වැනි දා පැමිණ ඇතැයි පැවැසෙයි.

දින කිහිපයක් මිතුරියගේ නිවසේ රැඳී සිටි මෙම ඉන්දීය තරුණිය අක්කරපත්තු කාන්තාවක විවාහ කරගත යුතු බවට යෝජනා කර තිබේ. තම දියණියගේ සහ ඉන්දියාවේ සිට ආ තරුණියගේ හැසිරීම පිළිබඳව සැක සිතු අක්කරපත්තුව තරුණියගේ පියා මේ පිළිබඳව අක්කරපත්තුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඉන්දීය තරුණිය සහ ලංකාවේ කාන්තාව අක්කරපත්තුව පොලිසියට කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ලංකාවේ කාන්තාව ඉන්දීය තරුණිය සමග ඉන්දියාවට යා යුතු බව පවසා ඇත. එසේ යන්න නොදුන්නහොත් දෙදෙනාම දිවි නසා ගන්නා බවට පොලීසියේදි දැඩි ලෙස කියූ බව අක්කරපත්තු පොලිසියේ ප්‍රකාශකයෙක් කීය. අක්කරපත්තුව කාන්තාව විවාහක කතක වන අතර ඇයට දරුවකු ද සිටින බව පොලීසිය පවසයි.

පසුව අක්කරපත්තුව පොලීසිය මේ  දෙදෙනා අක්කරපත්තුව මහේස්ත්‍රාත් එම්.එච්. එම්. හංසා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කාන්තාවන් දෙදෙනා කල්මුණේ රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාදී මෙම මස 27 වෙනි දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරිනියකගේ ආරක්ෂාව යටතේ මෙම තරුණිය හා කාන්තාව කල්මුණේ රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.