kanchana-adnoc-Abu-Dhabi-National-Oil-Company-sri-lanka

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1690ක් සුදුසුකම් ලත් විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අද (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ  (26) පැවසීය.


අවම වශයෙන් මාස හයක හෝ අවුරුද්දක කාලයක් ණය ක්‍රමයක් යටතේ මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ කොන්දේසිය යටතේ විදෙස් සමාගම්වලට මෙසේ ඉන්ධන පිරවුම්හල් ලබාදීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් රාවයක් පැතිර යන්නේ Abu Dhabi National Oil Company (ADNOC) ලංකාවේ සිය මෙහෙයුම් අරඹන්නට සූදානම් කර ඇති බවකි.
කෙසේ වෙතත් මේ ගැන කිසිදු නිල දැනුම්දීමක් අබුඩාබියෙන් හෝ ශ්‍රී ලංකාවෙන් තවම සිදු කර නැත.
අබුඩාබි ජාතික තෙල් සමාගම (ADNOC) යනු ලොව ප්‍රමුඛතම බලශක්ති නිෂ්පාදක සමාගමක් වන අතර අබුඩාබි ආර්ථිකයේ වර්ධනය සහ විවිධාංගීකරණය සඳහා මූලික උත්ප්‍රේරනය සැපයූ සමාගමයි.

දිනකට තෙල් බැරල් මිලියන 3.5 කට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහ දිනකට ස්වාභාවික වායු ඝන අඩි බිලියන 10.5 ක නිෂ්පාදන ධාරිතාවක්  යුතු ගවේෂණය, නිෂ්පාදනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම සහ වෙළඳාම  සඳහා පූර්ණ-ඒකාබද්ධ ව්‍යාපාර ජාලයකි.

1971 දී ආරම්භ කරන ලද, ADNOC විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති සම්පත් ප්‍රයෝජනයට ගැනීම සිදු කරන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනයක් කරන්නේ නම් තෙල් සැපයුම ගැන ප්‍රශ්නයක් මතු නොවේ. මන්ද තෙල් සම්පත් ඔවුන්ට අධික බැවිනි.

රජය දිගින් දිගටම ණයට තෙල් ලබාගැනීමෙන් පසු ණයට තෙල් දෙන්නට බැහැයි කියමින් වෙනත් රටවල් අහක බලා යද්දී මෙම තෙල්සමාගම ලංකාව බාරගන්නට ඉදිරිපත්වූවොත් එය මහත් අස්වැසිල්ලකි. නමුත් එය සිදුවන්නේද යන්න තවම අවිනිශ්චිතය.

මේ අතර ඉන්දියානු IOC සමාගමත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීම සඳහා රජයෙන් ඉල්ලා ඇති අතර ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල් කිහිපයක් ද එම සමාගමට දීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඊයේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.