gov-services-friday

රාජ්‍ය ආයතන සිකුරාදා දින වසා තැබීමට රජය ගත් තීරණය නිසා ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බවත්, රාජ්‍ය සේවය රටට බරක් බවට ජනතාවටත් පණිවිඩයක් ලබාදීමටත් ආණ්ඩුව උත්සාහ කරන බවත් එහෙයින් මෙම තීරණය පිළිබඳ නැවත වරක් සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි. පවතින අර්බුදකාරී තත්ත්වය තුළ රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමේදී ඇති වන දුෂ්කරතාවන් වළක්වා ගැනීම සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදෙන බවට රජය සඳහන් කරන බවත්, එහෙත් මෙම තීරණය නිසා සිකුරාදා දිනයේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීමට ජනතාවට නොහැකි වන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය.



ආර්ථික අර්බුදය ඉන්ධන අර්බුදය පුද්ගලික අංශයේ සේවකයන්ටත් බලපා තිබෙන බවත්, එහෙත් අදාළ ආයතන පවතින අර්බුදය කළමනාකරණය කර ගනිමින් අඛණ්ඩව පවත්වාගෙන යමින් තිබෙන අතර, මේ නිසා ඉරාජ්‍ය ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමටත් හැකි විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. රාජ්‍ය අංශයේ විශාල ආයතන ප්‍රමාණයක් සිකුරාදා දින වසා තැබීමට කටයුතු කළත් පවතින අර්බුදකාරී තත්ත්වය තුළ පුද්ගලික ආයතන සතියේ දින 05. තුළම ක්‍රියාත්මක වන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

මීට අමතරව සමහර ආයතන සතියේ දින හයක් හා තවත් සමහර ආයතන සතියේ දින හතම විවෘතව පවතින බවද ඒ මහතා පැවසීය. මෙවන් තත්වයක් තුළ කම්කරු දෙපාර්තමේන්තු සතියට දින හතරක් සේවා සැපයීමට තීරණය කර තිබෙන බවත්, මේ හරහා සේවකයන්ට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට සිදුවන බවත් ප්‍රධාන ලේකම්වරයා පවසා සිටියේය.මේ නිසා සිදුකළ යුතු වන්නේ,

රාජ්‍ය සේවකයන්ට ප්‍රවාහන දීමනාවක් ලබාදී හා දැනට ලබාදෙන ප්‍රවාහන දීමනා ඉහළ දමා රාජ්‍ය සේවය පවත්වාගෙන යාම බවද හෙතෙම පැවසීය.

රාජ්‍ය සේවය රට බරක් බවට වර්තමාන පාලකයන් පසුගිය කාලයේදී ප්‍රකාශ සිදුකළ බවත්, සිකුරාදා දින නිවාඩු ලබාදී රාජ්‍යය සේවය රටට බරක් බවට ජනතාවටත් පණිවිඩයක්  ලබාදීමටත් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. මේ වනවිට රටට බරක් වී සිටින්නේ, දේශපාලනඥයන් බවත්, මේ නිසා දේශපාලනඥයන්ගේ දූෂණ වංචා ක්‍රියා නවතා දැමීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර, සමහර රාජ්‍ය ආයතන ඉහළ පෙළේ නිලධාරීන්ගේ  මාසික වැටුප රුපියල් මිලියන ඉක්මවා ගොස් තිබෙන බවත් පවසා සිටි  හෙතෙම, මෙම තත්වයන් පාලනය කර ගනිමින් රටේ. මුදල් ඉතිරි කරගත යුතු බවද පවසා සිටියේය.


( එච්.අයි. තුෂාර)