fuel-price-good-price

ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ත්‍රි රෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩිකිරීමට ත්‍රි රෝද රථ සංගම් තීරණය කර තිබේ. ඒ අනුව පළමු කිලෝමීටරයට මේ වන විට අයකරන රුපියල් 100ක ගාස්තුව ස්ථාවරව පවත්වාගෙන යමින් දෙවැනි කිලෝ මීටරයේ සිට අයකළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 90ක් දක්වා වැඩි කරීමට ඔවුන් තීරණය කර තිබේ. 



කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව බස් රථ සංගම් තිහිපයක්පවසා ිතබේ.
ඒ අනුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුනි 30 සිදු කළ යුතුව ඇති බවත් ඉන්ධන මිල ඉහළ යාමත් හේතුවෙන් 35%ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.
මෙම සංශෝධනය හෙට (27) සිට ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොවුන හොත් බස් ධාවනයෙන් ඉවත්වන බවත් ඔහු පැවසුවේය.


එසේම මේ වන විට රුපියල් 32 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දැමිය යුතු බවද ඔහු කීය.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව කිසිදු විශේෂ තීරණයක් නොගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.