dullas-alahapperuma-new-party

රටේ ඇතිව තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය හා විශ්වාසදායි හැසිරීමක නිරත නොවන දේශපාලක පැළැන්තිය නිසා කලකිරීමට පත්ව සිටින ජනතාවට නව ‘කහ එළියක්‘ දැල්වීමට ඩලස්,ඩිලාන් ප්‍රමුඛ පාර්ලිමේන්තුවෙන් දැනට ස්වාධීනවී සිටින මන්ත්‍රී කණ්ඩායමක් සූදානම් වේ.  ඔවුන් තවදුරටත් පොහොට්ටුව සමග සම්බන්ධ නොවන බවත් ඉදිරියේදී වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමටත් පුළුල් සන්ධානයක් ගොඩනගා මැතිවරණ වලට පවා ඉදිරිපත්වීමට තීරණය කර ඇති බවත් දැනගන්නට ලැබේ.රාජපක්ෂවරුන් රහිත දේශපාලන ගමනකට ඔවුන් මුලපුරා ඇත.


මින් ඉහත අගමැති අපේක්ෂකයෙකු ලෙසද කටකතා පැතිරගිය ඩලස් අලහප්පෙරුම මෙහි මූලිකයා වන්නේය.
මෙම කණ්ඩායමේ අනාගත අපේක්ෂාව ඊයේ මාධ්‍ය ඉදිරියේදී හෙළිදරව් වුණ අතර මැතිවරණ ක්‍රමයට ගෙනආ යුතු සංශෝධන ඇතුළත් යෝජනා මාලාවක් ඊයේ (10) මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඔවුන් ඉදිරිපත් කර තිබේ.
ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහභාගී විය.
ඊයේ (10) පස්වරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව අසළදී මාධ්‍යවේදීන් හමුවූ ඩිලාන් පෙරේරා මහතා ඩලස් අලහප්පෙරුම මහතාව පෙන්වමින් සඳහන් කළේ මුලින්ම නායකතුමා කතා කරයි.. යනුවෙනි.

ඩලස් අලහප්පෙරුම මහතා – “විහිලුවක්. විහිලුවක්වත් තේරෙන්නේ නෑ නේ. අපි මෙතනට අවේ බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයින් පිරිසක් ලෙසයි. මේ දේශපාලන නොනගත කාලසීමාව තුළදී අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණ මේ මැතිවරණ ක්‍රමය ඇතුළට කොහොමද එකතු කරන්නේ කියන සාකච්ඡාවට අපි ආවේ.”



එහිදී මාධ්‍යවේදියෙක් යළිත් ඩිලාන් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කළේ, “අලුතින් පක්ෂයක්වත් හදන්න බලාපොරොත්තු වෙනවාද ? ” යනුවෙනි.

ඊට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා මහතා,

“කහපාට ඉස්සර කරගෙන තමයි අපි මේ මැතිවරණ වෙනසකම්වලට මුහුණ දෙන්නේ. එකයි මේ පාට අපි ඇඳගෙන ආවේ.”

මාධ්‍යවේදියෙක් – “අලුතින් පක්ෂයක් හදලා.. ඒකේ පාට කහ පාටද ?”

ඩිලාන් පෙරේරා මහතා – “ඒක හිතා ගන්නකෝ.”