Student-who-won-the-rights-case-gets-Rs-500000-compensation-from-UGC-and-university-mandate

විශ්වවිද්‍යාල නීති පීඨයේ ලියාපදිංචි වීමට ඇති අවස්ථාව ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක ලියාපදිංචිය හේතුවෙන් අහිමි කිරීම නිසා ශිෂ්‍යයකුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය,  අදාළ ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය. මෙම ශිෂ්‍යයා විශ්වවිද්‍යාල නීති පීඨයට ඇතුළත් කරගන්නා ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝගයක් නිකුත් කළේය. තිස්සමහාරාමය, ලුකස්ගොඩ, අංක 231/1 ලිපිනයෙහි පදිංචි එම්.සී. මලික් සචින්ත යන අය විසින් ගොනු කරනු ලැබ තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර ශිෂ්‍යයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු පස් දෙනෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මෘර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශිත මෙම තීන්දුවේ මෙසේ ද සඳහන් වේ. පෙත්සම්කරු 2018 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් ඉදිරිපත් වී ඒ සාමාර්ථ තුනක් ලබාගෙන ඇති අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 4 වැනි ස්ථානයට පැමිණ දිවයින් 90 වැනි ස්ථානයට පත්වී ඇත. පෙත්සම්කරු යාපනය, කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල නීති පීඨයට ඉල්ලුම් කර තිබේ. එහෙත් ඉල්ලුම්කාර ශිෂ්‍යයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක ලියාපදිංචි වී තිබීමය.

පෙත්සම්කාර ශිෂ්‍යයා සඳහන් කර සිටින්නේ, අදාළ තාක්ෂණ ආයතනයේ විභාගයට තමන් පෙනී සිටි බව පමණක් ඇත්ත වන නමුත් ඉන් සමත්වුවද ඒ පාඨමාලාව හදාරන්නට ලියාපදිංචි නොවූ බවය.

කෙසේ වෙතත් ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ බලධාරින් සඳහන් කර සිටින්නේ, මෙම ශිෂ්‍යයාගේ නම ලියාපදිංචි ලේඛනයේ සඳහන් වූයේ අත්වැරැදීමකින් බවය. මේ සම්බන්ධයෙන් අදාළ උසස් තාක්ෂණ ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිසමට ද දැනුම් දී තිබිණි. එහෙත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පෙත්සම්කරු විශ්වවිද්‍යාල නීති පීඨයට ඇතුළත් කරගැනීමට නොහැකි බව සඳහන් කර ඇත.  මෙම පෙත්සම්කාර ශිෂ්‍යයා ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ තිබූ කිසිදු දේශනයකට සහභාගි වී නොමැති බවට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගෙන ඇත. ඒ අනුව, පෙත්සම්කරුට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබී තිබුණත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ සඳහා අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් ප්‍රකාශිත මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දුවේ සඳහන්වේ.පෙත්සම්කරු නීති පීඨයට ඇතුළත් වූයේ නම් අද වන විට අවසන් වසර සිසුවෙකි.

පෙත්සම්කරුගේ තරුණ කාලයෙන් වසර තුනක් අපත්තේ ගොස් ඇත. මේ සියල්ල සලකා බලා රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තූ පෙත්සම්කරුට ගෙවන ලෙස සහ පෙත්සම්කරු විශ්වවිද්‍යාල නීති පීඨයට ඇතුළත් කරගන්නා ලෙසට ද නියෝග කරන බව ද තීන්දුවේ සඳහන්ය.


(නිමන්ති රණසිංහ -ලංකාදීප)