stress-resolve-tips

මේ දිනවල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට පවා නොහැකිව ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.ඒ නිසාම ඇතැම් විට රැකියා ස්ථානයේදී, නිවසේදි මෙන්ම සමාජයේදීද බොහෝ දෙනෙකු දැඩි ලෙස පීඩාවන්ට ගොදුරු වෙමින් සිටී. මේ සියල්ල දරා ගැනීමේදී බොහෝ විට මානසික ආතතියකට ලක්වීමට වැඩි හැකියාවක් පවතී.

මානසික ආතතිය ලෙස හදුන්වන්නේ කුමක්ද සහ එයින් අත්මිදෙන්නේ කෙසේද යන්න පිළිබදව විමසීමට මෙම ලිපිය සැකසේ.

අපිට දැනෙන ආතතිය.

ආතතිය ලෙස හදුන්වන්නේ යම් පීඩනයකට අපගේ ශරීරය දක්වන ප්‍රතිචාරයයි. විවිධ තත්වයන් හෝ ජීවිතයේ සිදුවන විවිධ සිදුවීම් බොහෝ ආතතීන්ට හේතු විය හැක. එය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ අප අලුත්, අනපේක්ෂිත යමක් අත්විදින  විට, අපගේ හැගීමට තර්ජනයක් වන විට හෝ යම් තත්වයක්  මත අපට පාලනයක් නොමැති බව හැගෙන විටයි. අපි සියලුදෙනා ආතතිය සමග කටයුතු කරන්නේ වෙනස් ආකාරයකිනි. අපගේ ප්‍රවේණිය, මුල් ජීවිතයේ සිදුවීම්, පෞරුෂය, සාමාජීය සහ ආර්ථික තත්වයන් මත අපට මුහුණ දීමට ඇති හැකියාව මත ආතතිය ඇති වීම රදාපවතී. ආතතියක් ඇති වූ විට අපගේ ශරීරය ආතති හෝමෝන නිපදවනු ලබයි. එමගින් අනතුරුදායක තත්වයන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ශරිරය හැඩගස්වනු ලබයි. ඇතැම් විට මෙලෙස ශරීරය ප්‍රතිචාර දැක්වීම (ආතති ප්‍රතිචාරය) ප්‍රයෝජනවත් විය හැකිය. එය අපට බියෙන් හෝ වේදනාවෙන් මිදීමටද උපකාරී වේ. ආතති සහගත සිදුවීම අවසන් වූ පසු අපගේ ආතති හෝමෝන ඉවත්වී ඉක්මනින් යථා තත්වයට පත්වන අතර, කල්පවතින ප්‍රතිවිපාක ඇති නොවේ. කෙසේ වෙතත්, අධික ආතතිය සාරානාත්මක බලපෑම් ඇති කළ හැකිය. දිගුකාලීනව මෙය අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට බලපානු ලබයි. අපි මේ පිළිබද දැනුවත් විය යුත්තේ එබැවිනි.



අපව ආතතියට පත් කරන්නේ කුමක්ද?

ආතතියට හේතු විය හැකි බොහෝ දේ තිබේ. වියෝව, දික්කසාදය හෝ වෙන් වීම, රැකියාවක් අහිමි වීම හෝ අනපේක්ෂිත මුදල් ගැටලු මෙයට බහුල ලෙස හේතු විය හැකිය. තවද වැඩ ආශ්‍රිත ආතතියට වැඩ අධික වීම, අවශ්‍යතා සපුරා ගැනීමට අධික ලෙස මහන්සි වීම හේතු විය හැක. මෙය ඔබේ මානසික සෞඛ්‍යයටද අහිතකර බලපෑමක් ඇති කළ හැකිය. විශාල නිවසකට යාම, රැකියාවේ උසස්වීමක් ලබා ගැනීම හෝ නිවාඩුවක් ගත කිරීම වැනි ධනාත්මක ජීවිතයේ ස්වෙනකම් පවා ඇතැම් විට ආතතියට හේතු විය හැක.

ආතතියේ සලකුණු

කනස්සල්ල, බය, කෝපාවිෂ්ට හෝ ආක්‍රමණශීලී බව, දුක, කේන්තිය, කලකිරීම, මානසික අවපීඩනය ආදී හැගීම් පෙන්වා දිය හැකිය. ඇතැම් විට ශාරිරික රෝග ලක්ෂණද ඇති කරයි. ඒ අනුව ඔබ ආතතියට පත්වුවහොත් හිසරදය, ඔක්කාරය, අජීර්ණය, මලබද්ධය, බඩ පිපීම හෝ පාචනය වැනි ආහාර ජීර්ණ ගැටලු, නොගැඹුරු හුස්ම ගැනීම හෝ අධි වාතාශ්‍රය, දහඩිය දැමීම, හෘද ස්පන්දනය වැඩි වීම, කැක්කුම සහ වේදනාව ආදිය දැක්විය හැකිය.



ඔබ හැසිරෙන ආකාරය.

පුද්ගලයෙක් ආතතියට පත්වුවහොත් එම පුද්ගලයා හැසිරෙන ආකාරය මෙසේ වීමට පුළුවන. එනම්, පුද්ගලයන්ගෙන් ඉවත් වීම හෝ ඔවුන්ට පහර දෙන්න කටයුතු කළ හැකිය. එමෙන්ම අවිනිශ්චිත බවකින් කටයුතු කළ හැකිය. හැඩීම හෝ නිදා ගැනීමට ගැටලු ඇතිවිය හැකිය. තවද ලිංගික ගැටලු, දුම් පානය, මත්පැන් පානය කිරීම හෝ මන්ද්‍රව්‍ය ගැනීමට යොමු වීම පවා ඇතිවිය හැකිය.ආතතිය දිගු කල් පවතින්නේ නම්, ඔබේ නින්දට සහ මතකයට එය බලපානු ලබයි. ඔබේ ආහාර පුරුදු වෙනස් වීම සිදුවිය හැකිය. ව්‍යායාම කිරීම වැනි දේට අඩු නැඹුරුවක් දැනෙනු ඇත.වෛද්‍ය පර්යේෂණ මගින් දිගුකාලීන ආතතිය නිසා ශරීර අභ්‍යන්තරයේ බඩවැල් ආශ්‍රිත සිඩ්‍රෝමය (IBS) හෝ ආමාශයේ වණවීම් වැනි තත්වයන්ට මෙන්ම, හෘදය ආශ්‍රිත රෝගී තත්වයන්ද ඇති විය හැකි බව අනාවරණය වී තිබේ. මේ නිසාම මෙම තත්ත්වයන් පිළිබද දැනුවත්ව සිටීම වැදගත්වේ.

ආතතියෙන් පීඩා විඳින්නෝ

ආතතිය සම්බන්ධ අපි සාකච්ඡා කළ සමහර හැගීම් අප සියල්ලන්ටම හඳුනාගත හැකිය. සමහර අය අනෙක් අයට වඩා ආතතියෙන් පීඩා විදින බව පෙනේ. ඇතැම් පුද්ගලයන්ට සෑම උදෑසනකම රාජකාරී සඳහා නියමිත වේලාවට දොරෙන් එළියට යාමද ඉතා ආතති සහගත අත්දැකීමක් විය හැකිය. බොහෝ ණය හෝ මූල්‍ය අනාරක්ෂිතභාවයක් ඇති පුද්ගලයන් මුදල් සම්බන්ධයෙන් ආතතියට පත්වීමට ඉඩ ඇත. සුළුතර ජනවාර්ගික කණ්ඩායම්වල හෝ LGBTIQ+ පුද්ගලයන්ට අගතියට පත්කිරීම හෝ වෙනස්කොට සැලකීමද ආතතියට හේතු විය හැක. තවද ආබාධ සහිත පුද්ගලයන් හෝ දිගුකාලීන සෞඛ්‍ය  ගැටලු තිබෙන පුද්ගලයන්ව කොන් කිරීම හෝ ඔවුන්ට සමාජගත වීමට ඉඩ නොදීම වැනි දේවලින්ද පුද්ගලයන් ආතතියට පත්විය හැකිය.කෙසේ වෙතත් ඔබට ආතතිය සම්බන්ධයෙන් ශාරීරික ලක්ෂණ ඇතිවන්නේ නම්, ඒ සදහා ප්‍රතිකාර ලබාගැනීම මගින් මෙම තත්වය සම්පූර්ණයෙන්ම නැති කරගත හැකිය. ඒ සමගම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමද ඉතාම වැදගත් වේ. එමගින් ඔබේ මනෝභාවය වැඩිදියුණු කළ හැක. ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ (අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ඇතුළුව) සහ ජලය ලබාගැනීම ඔබේ මානසික යහපැවැත්මට උපකාරී වේ. දුම්පානය සහ මත්පැන් පානය නවතා දමන්නට කටයුතු කරන්න. මත්පැන් සහ කැෆේන් කාංසාවේ හැගීම් තවදුරටත් වැඩි කළ හැකිය. ව්‍යායාම කරන්න. හොඳ රාත්‍රී නින්දක් ලබා ගන්න. නින්ද සම්බන්ධ ගැටලු තිබේ නම් ඊට ප්‍රතිකාර ලබා ගන්න. ඔබට ඔබ ගැන කෘතඥතාවය ඇතිකරන දේවල් කරන්න.ඔබ දිගටම ආතතියෙන් පීඩා විදින්නේ නම්, වෘත්තීය උපකාර ලබාගැනීමට බිය නොවන්නෙ. ඔබ අසාර්ථක බව එයින් අදහස් නොවේ. එයින් ඔබට වඩා හොඳ හැගීමක්, ආකල්පයක් ඇති කර ගැනීමට හැකි වේ.

ප්‍රතිකාර ලබාගන්න පැමිණි විට, ඔබට ඔබ ගැන හැගෙන ආකාරය කිසිවක් නොසගවා පවසන්න. එවීට ඒ සඳහා මනෝ ප්‍රතිකාර සහ මනෝ උපදේශනය ලබාගත හැකිය. ඊට අමතරව ඔබට මොනයම් හෝ ශාරිරීක රෝග තිබෙනවා නම් ඒ සදහා ප්‍රතිකාර ස්ථානවලට යොමු කිරීමක්ද සිදුවේ.කෙසේ වෙතත් ත්නිවැරදි අවබෝධය තුළින් මානසික ආතතියෙන් මිදීමට කටයුතු කරන්න.

- මනෝ ප්‍රතිකාරක/මනෝ උපදේශක ශානි මධුෂිකා
(සටහන - චාමර සම්පත්)