galle-jewellary-shop-robbery

ගාල්ල, කළුවැල්ල ස්වර්ණාභරණ වෙළෙඳ සලකට රන් බඩු ගැනීමේ මුවාවෙන් පැමිණ රුපියල් හැත්තෑ ලක්ෂයකට අධික රන් මාල සොරාගත් විදේශිකයින් දෙදෙනකු ගැන පොලිසිය කළ විමසීමකදී ඔවුන් දෙන්නා එදිනම (24) සවස කටුනායක ගුවන් තොටුපොළන් සිංගප්පූරුව බලා ගොස් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 



රන් ආභරණ ගැනීමට බව පවසා විදේශිකයින් දෙදෙනා ඉකුත්  24 වැනි දින පෙරවරුවේ වෙළෙඳසලට පැමිණ පරික්ෂා කර බලමින් සිට ආභරණ සඟවා බෑගයක දමාගෙන ඔවුන් විසින් ගෙන එන ලද ව්‍යාජ රන් ආභරණ සහිත බෑගය මේසය උඩ තබා පසුව එන බව පවසා පිටව ගොස් ඇති අතර වෙළෙඳ සල් හිමියා සී.සී.ටී.වී. කැමරා බලන විට විදේශිකයින් දෙදෙනා  ආභරණ සඟවා ගන්නා අයුරු දැක ඇත.



පසුව වෙළෙඳසල් හිමියා පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකාර විදේශිකයින් දෙදෙනා හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීමට ද පියවර ගන්නා ලදී. පැමිණිල්ල ලැබීමත් සමග ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.ජී. ආනන්ද මහතා ඇතුළු නිලධාරින් සැකකාර විදේශිකයින් දෙදෙනාගේ සංචාරක මග පෙන්වන්නාද සොයාගෙන විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක නතරව සිට ඇති අතර එක් අයෙකුට ඩෙංගු රෝගය වැළඳී රෝහල් ගතව සිට ඇති බවයි.

වැඩිදුරටත් පරික්ෂණ පැවැත්වීමේදී අනාවරණය වී ඇත්තේ එම විදේශිකයන් දෙදෙනා ජෝර්ජියානු ජාතිකයින් වන අතර ඔවුන් එදිනම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවය.