sashi-weerawansa-court-update

කූඨ ලේඛන භාවිතයෙන් පාස්පෝට් එකක් සැකසීම සම්බන්ධයෙන් අද (27) දින දහවල් මහේස්ත්‍රාත් අධිකරණයේදී වරදකාරියවූ විමල් වීරවංශ බිරිය ශෂී වීරවංශට වසර 2 ක සිර දඩුවමක් නියමවූ අතර ඇය බන්ධනාගාර බසයට නංවා සිරගෙදර වෙත ගෙනයනු ලැබුයේ විශාල මාධ්‍ය කණ්ඩායමක කැමරා උකුසු ඇස් මැදිවයි. 
ඇය මෙම දඩුවම සම්බන්ධයෙන් අභියාචනයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව නීතීඥයින් දන්වා අදම ඉදිරිපත් කළ නමුත් එය අධිකරණයෙන් යලි සලකන්නේ ලබන 30 වනදාය.එම නිසා ඇයව එතෙක් බන්ධනාගාරගත කෙරෙනු ඇත.



හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වසර 02 ක සිර දඬුවමට අමතරව ඇයට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කෙරුණු අතර දඩය නොගෙවන්නේ නම් ඇයට තවත් මාස 6 ක සිර දඬුවමක් මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියම කරනු ලැබීය.

විත්තිකාරියට එරෙහි නඟා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශකරමින් සඳහන් කළේය.

 මෙම කටයුතු වලට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියොග කරනු ලැබීය.

ඇමති බිරිඳක් ලෙස නිල බලය පාවිච්චි කරමින් මෙම ගමන් බලපත්‍රය ලබාගැනීමට විත්තිකාරියකටයුතු කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී කියා සිටියේය.

එක් දින සේවාව යටතේ මෙම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර තිබුණද විත්තිකාරිය එම කවුළුව හෝ නොගොස් වක්‍ර මාර්ගයෙන් ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
දෙදරු මවක වන ශෂී වීරවංශ මෙම නඩුවට පැටළුනේ යහපාලන රජය සමයේය. එකල ඇය අත්අඩංගුවට ගන්නට අධිකරණය සූදානම්වූ අවස්ථාවේ ඇය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට ගිය අතර රෝහල් අඩස්සියේ ටික දිනක් රඳවා සිටියාය.
ශෂී වීරවංශ මින් ඉහත ආන්දෝලනයක් ඇති කළේ විමල්ගේ නිවසේ සිදුවූ තරුණයෙකුගේ මරණයක් සම්බන්ධයෙනි.
පසුගිය මැයි 09 වනදා රාත්‍රී එම නිවස ගිනිබත්වූ පසු විමල් ඇතුළු පවුලේ අය වෙනත් ස්ථානයක ආරක්ෂිතව වාසය කරද්දී මෙම දඩුවම මත ඇය අද සිරගතවූවාය.