power-shift-updates-sri-lanka
ජනතාව මාසයකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලය ලෙස විශේෂ වෙනස්කම් කිහිපයක් ලබන සතිය තුළ සිද්ධ වන්නට නියමිත බව දේශපාලන අංශ වාර්තා කරයි. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ සිය තනතුරින් සමුදීම 09 වන සදුදා සිදු කරන්නට නියමිත බව වාර්තා වන අතර එය ප්‍රධාන වෙනස්කමකි. ජනපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ සහ අද ආරක්ෂක මණ්ඩලය සමග කළ සාකච්ඡා අනුව තවදුරටත් ඔහුට රට පාලනය කිරීම අපහසු තත්වයකට පත්ව ඇති බව තේරුම් ගෙන තිබෙයි. විශේෂයෙන්ම ගෝඨාගෝගම හෝ මයිනාගෝගම අරගල නොසලකා හරින්නට හැකියාව තිබුණත් හොරුගෝගම අරගලය නිසා තමන්ට දැනෙන ලෙස ජනතා විරෝධය ජනපති පීඩාවට පත් කර ඇති අතර තමන්ගේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට යන්නට එන්නට තිබෙන අපහසුකම් ගැනත් නිවසේ සිටින්නට බැරි තත්වයක් ඇතිව ආරක්ෂාව සම්බන්ධයෙන් නගන මැසිවිලි දුරකථන ඇමතුම් ප්‍රමාණය වැඩිවීමත් නිසා තේරුම් ගෙන ඇත.


විශේෂ හදිසි පියවරක් ලෙස හදිසි නීතිය ඊයේ රෑම යළි පනවන ලද්දේ ඒ නිසාය.නමුත් එය පාර්ලිමේන්තුවේ සති දෙකක් තුළ අනුමත කරගැනීමට හැකියාව ඇතිද යන්න පවා ජනපතිට විශ්වාස නැත.කැනඩාව ඇමරිකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් නීතීඥ සංගමය හා විපක්ෂයේ ප්‍රධානීන් ජනපතිගේ මෙම තීරණය විවේචනයට ලක් කළේ මෙවැනි නීතියක් පනවා ඉදිරි දිනවල උද්ඝෝෂකයින් මෙල්ල කරන්නට යාම මහත් ව්‍යසනයක් ඇති කළ හැකි බවට අනතුරු අගවමිනි.
ජනපතිවරයා මෙවැනි දෙයක් මුලින්ම කළානම් යම් පාලනයක් ඇතිවිය හැකි නමුත් දැන් සියල්ල දුරදිග ගියාට පසු මෙවැනි පාලනයක් ගෙන ඒම බරපතලය.ජනතාවට උද්ඝෝෂණ කරන්නට හා ඒවා ස්ථාපිතව සිදුකරන්නට ඉඩ සලසා තිබෙන පරිසරය තුළ ඔවුන් අධිකරණ සීමාවන් රහිතව වැඩිකලක් රදවා ගන්නට හෝ සෘජු ලෙස උද්ඝෝෂණ පාලනය කරන්නට හදිසි නීතිය තුළින් ඉඩ ලබාගැනීමට ගියොත් ගැටුම් වැඩිවිය හැකි බව මෙයට විරුද්ධවූවන් පෙන්වාදී ඇත. එය මහත් ලේවැගිරීමක් නිසා රජය තවත් අප්‍රසාදයකට ලක්වන දෙයක් වන්නට ඉඩ තිබෙයි. රඹුක්කන සිද්ධිය පවා ජනතාව ප්‍රකෝප කරවා තවදුරටත් රජය කෙරෙහි අපකීර්තිය කැඳවන්නට හේතුවූ බැවින් මෙවර තත්වය එයට එහා යා හැකි බව ඔවුන් පෙන්වාදී ඇත.
අගමැති මහින්ද සදුදා තනතුරින් සමුගන්නේ අලුත් කන්ඩායමක් ලෙස රජයක් පිහිටුවන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඇරයුම් කරමින් බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. සජිත් එය භාරගනීද යන්න තවම ප්‍රකාශ කර නැත.ඔහු මින් පෙර කියා සිටි ආකාරයට ජනපති පුටුවේ රාජපක්ෂවරයෙකු තවමත් රැදී සිටින වේලාවක තමන්ට රටේ භාරකාරත්වය ගන්නට අවශ්‍ය නැති බව කියා තිබුණි. කෙසේ වෙතත් ජනපති ඉවත් කිරීමට ඇති විකල්ප සැලකීමේදී ඒහා සම්බන්ධ නීති හා ව්‍යවස්ථාව ඉදිරියේ තරමක් දුෂ්කර තත්වයක පවතින බැවින් සජිත් සිය තීරණ වෙනස් කර අගමැති ධූරය කෙටි කලකට හෝ භාරගනු ඇතැයි සෙනසුරාදා සවස වන විට දේශපාලන ආරංචි පැතිර තිබුණි.

මහින්ද සජිත් නම්කර තනතුරින් ඉවත්ව යන්නේ නම් පොහොට්ටු කන්ඩායම පවා සජිත්ට සහය දක්වනු ඇතිය යන්න විශ්වාසයයි.


සජිත්ට පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායම සහය නොදක්වන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩක් නැති අතර පසුගිය සතියේ සියඹලාපිටියෙගේ නි.කතානායක ඡන්ද විමසීම ඔස්සේ පිළිබිඹු කෙරුනේ ස්වාධීන කන්ඩායම තවදුරටත් පොහොට්ටුව සමග සිටින අයුරකි.

කෙසේ වෙතත් ඊයේ පොහොට්ටුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම සජිත් වෙත ලිපියක් යොමු කරමින් සජිත්ට රට භාරගන්නට අවශ්‍ය නම් සහය දෙන ආකාරය ගැන විකල්ප දෙකක් පෙන්නුම් කරමින් සටහන් යොමු කළ අතර එහි දක්වා තිබුන ආකාරයට සජිත්ව තමන්ගේ සජබ අය ඇමතිවරු ලෙස පත්කරගෙන තමන්ගේම පාලනයක් ගෙනයන්නට හැකි නම් ඊටද විරුද්ධ නැති බවත් විපක්ෂයට ගොස් අවශ්‍ය සහය දෙන බවත් දන්වා තිබුණි. දෙවැනි විකල්පය වූයේ විමල් මෛත්‍රී වාසුදේව ආදීන් ඇමතිවරුන් ලෙස පිළිගනිමින් සජිත් හවුලේ ආණ්ඩුවක් පිහිටුවීමයි.

එයටද කැමතිනම් එක්වන බව ලිපියේ දක්වා තිබුණි.
මේ අතර අද රැස්වූ විමල් වාසු ඇතුළු ස්වාධීන කන්ඩායම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහය දීමට තීරණය කර තිබේ.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටද දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවී ඇත .
සජබ නායකයින් හා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායකයින් අතර පවතී සාකච්ජාවලදී මේ එකඟතාව මින් ඉහත කතාකර තිබුණි.
අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (7) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් මගින් දන්වා ඇතැයි සවස වාර්තා විය.
යම්හෙයකින් අගමැතිකම බාර නොගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 113ක බහුතරයකගේ අත්සන් ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරන ලෙසත් එවිට තමන් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇති මුත් මේ ගැන තීන්දුවක් එම අවස්ථාවේ සජිත් ලබාදී නැත.තමන් තනි තීන්දු නොගන්නා බවත්, මන්ත්‍රී කණ්ඩායම කැදවා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කර පිළිතුරු ලබාදිය හැකි බව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාට පවසා ඇතැයිද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
කොන්දේසි සහිතව අගමැතිධූරය භාරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී එකඟතාවය පළවනු ඇති බවට අභ්‍යන්තර තොරතුරු වාර්තා විය. නමුත් අවසන් තීරණ දන්වා නැති අතර මේ පිළිබඳව හෙට දිනයේදීද තවත් සාකච්ජා වටයක් පැවැත්වීමට නියමිතව ඇත .