omalpe-sobitha-speaks

මේ වනවිට රටේ පවතින අර්බුදයේ ප්‍රධාන සමථකරුවෙකු බවට පත්ව සිටින පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අරගල කරුවන්,මහනායක හිමිවරුන්,හිටපු අගමැති, ජනපති, විපක්ෂ නායක ඇතුළු ප්‍රධාන පාර්ශ්ව හා මුහුණට මුහුණ සම්බන්ධ වෙමින් අර්බුදය ජනතාවට හිතැති ආකාරයට විසඳීමට උත්සාහ දරමින් සිටී.
බදාදා රාත්‍රී සිරස ටීවී සජීවි වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ අලුත්ම තත්වය පැහැදිලි කළහ.


විශාල පීඩනයකින් පසු හිටපු අගමැති තනතුර හැරයාම සිදුවු පසුව මේ අවස්ථාවේ කළ යුතුම දේ ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධූරය භාරගැනීම සිදු කළ යුතු වුවත් ඔහු විවිධ දේ කියමින් හිතාමතාම එම අවස්ථාව මගහරින බව උන් වහන්සේ කියා සිටියහ.


ජනපතිවරයා දැනට ඉල්ලා අස්නොවන පසුබිමක ඔහුගේ ඉල්ලා අස්වීමම කේවල් කිරීමට සජිත් තීරණය කිරීම ප්‍රායෝගික නොවන බව කියන හිමියෝ පවසන්නේ අගමැති බලතල අඩුයි ජනපති බලතල වැඩියි. ඉදිරි කාලයේ අගමැතිකම ගත්තොත් කරදයක් කරාවි යන සැකය අර්ථකාරී නොවන බව පැහැදිලි කළහ. ජනපති පවා මෙම අවස්ථාවේ විශාල දෙගිඩියාවකින් පසුවන බවත් ඔහු රාජපක්ෂ පරපුරේ පරාජයන් නිසා මෙම අවස්ථාවේ පසුබා සිටින පසුබිමක එැවනි කරදරකාරයෙකු නොවනු ඇති බවත් ඉදිරියේ ව්‍යවස්ථාවෙන් අගමැතිට බලය ලැබෙන තුරු නිශ්ශබ්දව සිටින බවට තමාට විශ්වාස බවද කීය.
නමුත් තමාගේ ස්ථාවරය තරයේම වෙනස් නොකර සිටින සජිත් ප්‍රේමදාස ජනපති එක්වරම ඉවත්කිරීමට ව්‍යවස්ථාවෙන් තිබෙන අපහසුකම් තේරුම් නොගෙන ජනපති ඉවත්වනතුරු අගමැතිතනතුර භාරනොගන්නා බවට ස්ථාවරයක සිටින බව කීය.


තරුණ පිරිස කියා සිටින පරිදි ගෝඨාගෝ විය යුතුම වුවත් ඔවුන් ඉල්ලන සාධක සියයකින් දැන් පණහකට වඩා ඉටුවී ඇති බවත් අගමැති ඉවත්ව යාම පවා ඒ නිසා සිදුවූ බවත් පෙන්වා දුන් හිමියන් දැන් ගෝඨා නොයාම පැහැදිලි නමුත් බලහත්කාරයෙන් හෝ ඔහු යවන්ට අපහසු තත්වය තුළ ඉතිරිව ඇත්තේ නීතිය හා අධිකරණය බවත් මෙතැන නීතිය ලෙස ව්‍යවස්ථාදායක  උපාය පමණක් ඉතිරිව ඇති බවත් කීහ.

මෙයට පාර්ලිමේන්තුව මුල් කරගත් පියවරක් තිබිය යුතුයි. විපක්ෂ නායකට ව්‍යවස්ථා වෙනස ඇතිකර ගෝඨා යැවීමට සුදුසු අවස්ථාවක් ලැබී ඇති නමුත් ඔහු භාර නොගැනීම ගැටලුවක් යයි පෙන්වා දුන්හ.
හිස ගිනි අරගෙන තිබෙන වෙලාවේ ඇඟිල්ලේ වේදනාව පැවසීම තේරුමක් නැතැයි කියා සිටියහ.


ඔබ ඉදිරිපත්වන්නට සැකයි නම් ඔබතුමාගේ කණ්ඩායමෙන් කෙනෙකු ඉදිරිපත් කරන්න කීවත් එසේ නොකරන බවද කීහ. විපක්ෂ නායකවරයා අභියෝග වලට මුහුණදීමේ ශක්තියෙන් හීනයෙකු බව මෙහිදී තේරුම්ගත් බව පවසන උන් වහන්සේ පසුගිය කාලයේ අගමැති මහින්ද දිගින් දිගටම තනතුරේ එල්ලී සිටියේද මෙම දුර්වල ලක්ෂණ තේරුම් ගෙන බව කීහ.
මෙම ප්‍රශ්නය විසඳීමට දේශපාලකයින්ට තිබෙන අඩු උනන්දුව ගැන කණගාටු වන බවත් විදේශ ණය ගැනීමට පවා මෙම ස්ථාවරය අවශ්‍ය බවත් කීහ.