nandalal-speaks

නව අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සහ පාර්ලිමේන්තු ක්‍රියාකාර්තයක් සමග ප්‍රචණ්ඩත්වයෙන් තොර දේශපාලන හා සමාජස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පවතින බැවින් දැනට අධිපති ධුරයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය. තවදුරටත් පැවතියහොත් තමා අධිපති ධුරයෙන් ඉවත් වන බවට පසුගිය 11 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළද දැනට නිවැරදි මාවතකට ප්‍රගතියක් ඇති බව තමා දකින්නේ යැයි අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේ,

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම්දීම සම්බන්ධයෙන් ඊයේ (19දා) මහ බැංකු පරීශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා, "මම ගිය අවස්ථාවේ ප්‍රකාශ කළේ ඒ අවස්ථාවේ. තිබුණු දේශපාලන අස්ථාවරත්වය දිගටම එහෙම පවතිනවා නම්, මහ බැංකුවක් වශයෙන් මොනම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළත් ඒක සාර්ථකව ක්‍රියාත්මක නොවන බවයි. ඒ නිසා එවැනි අවස්ථාවක මම තනතුරේ රැඳී සිටින්නේ නැහැ කියලා තමයි, ඒ වෙලාවෙ, ඒ තත්ත්වයේදී ප්‍රකාශ කළේ. එතකොට එදා තිබූ තත්වය සහ අද තිබෙන තත්ත්වය බලද්දී, දැනට යම්කිසි ආකාරයක පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් පත්කරලා. කැබිනට් මණ්ඩලයක් පත්කරලා. එදා කැබිනට් මණ්ඩලයක් තිබුණත් නැහැ. අගමැතිවරයත් අවෙලා හිටියේ. ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය හිටියාට යම්කිසි ක්‍රියාදාමයක්, පරිපාලනයක් තිබුණේ නැහැ. නමුත් අද යම්කිසි ආකාරයක අගමැතිවරයෙක් සිටිනවා.


 කැබිනට් මණ්ඩලයක් තිබෙනවා.මුදල් අමාත්‍යවරයෙක් පත්විය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුව රැස් වෙනවා.

එතකොට අපට අවශ්‍ය කරන යම්කිසි නීති ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලයක් පවතිනවා. පොලී අනුපාත හා උද්ධමන තත්වය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (18දා) පැවැති රැස්වස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFP) පිළිවෙළින් 13.5%ක් හ 14.5%ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව මෙහිදී සඳහන් විය. දේශීය සැපයුම් හිඟය, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යම, රුපියලේ සිදුවූ විශාල අවප්‍රමාණය වීමේ බලපෑම් නිසා නුදුරු කාලීනව උද්ධමනය ඉහළ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2022 අප්‍රේල් මස 08 වැනිදා පැවැති රැස්වීමේදී මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම, සමස්ත ඉල්ලුම් පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ අනෙකුත් ක්‍රියාමාර්ග මගින් ඉදිරි කාලයේදී තවදුරටත් උද්ධමන අපේක්ෂක්ෂා ඇතිවීම අවම කිරීම සහ උද්ධමන පීඩනය ලිහිල් කිරීම අපේක්ෂ කරන බවද මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ.

විනිමය අනුපාතිකය තව අඩුවෙයිද?

"මෙය පාවෙන විනිමය අනුපාත තත්ත්වයන්ට තමයි, රඳවාගෙන සිටීමක් නැහැ. මෙහි දවසින් දවස පොඩි ප්‍රමාණයකින්, එනම් ශත 10ක්, ශත 20ක් වශයෙන් අඩුවීමක් සිදුවෙනවා. යම් ස්ථාවරත්වයකට පැමිණි පසුව, මීට වඩා වැඩි වේගයකින් මේක අඩුවේව්. වෙළෙඳ පොළේ තියෙන ඉල්ලුම සැපයුම අනුව නම්‍යශීලීත්වයක් සහිතවයි, විනිමය අනුපාතිකය ක්‍රියාත්මක වන්නේ.” අධිපතිවරයා සඳහන් කළේය.

ප්‍රේෂණ වගේම, විනිමය ඉපැයීමත් වැදගත්

"ප්‍රේෂණ ධෛර්යමත් කිරීමේදී, පළමු වැනි කාරණය හැටියට බිලැක් මාකට් එකේ වැඩිපුර රු. 40ක් දෙනකොට ඒ අය බැංකුව හරහා එවයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. පළමු වැනි ධෛර්යමත් කිරීම තමයි, බිලැක් මාකට් එකේ තියෙන වැඩිපුර රු. 40, බින්දුව කි. දැන් ඒක සිදුවී තිබෙනවා. මේ නිසා අවදානමක් සමග ඒ ක්‍රමවලටම එවනවාද, බැංකු ක්‍රමය තුළින් එවනවාද කියන දේ විදෙස් ශ්‍රමිකයන්ට තෝරාගත යුතුයි. බැංකු ක්‍රමය තුළ ඩොලරයට කලින් රු.200ක් ලැබුණු මුදල දැන් රු.360ක් ලැබෙනවා. එය සෑහෙන ප්‍රමාණයක වැඩිවීමක්. ප්‍රේෂණ වගේම, විදේශ විනිමය ඉපැයීමේ මාර්ගය වැඩිකිරීම  තමයි, දෙවැනි කාරණය. අපනයනවලින් මාසයකට ඩොලර් බිලියනයක් ලැබෙනවා. එය බිලියන 1.2ක් කළොත් රු.මිලියන 200ක් වැඩිවෙනවා. තොරතුරු තාක්ෂණ, නැව් සේවා, සංචාරක ව්‍යාපාර ආදියෙන් විර්දේශ විනිමය ඉපයීම වැඩිකර ගැනීම වැදගත්. විශේෂයෙන්ම, වින්දේශ ශ්‍රමිකයන් වගේම, අපනයන ක්ෂේත්‍රයේ අයත් වගකීමක් ඇතිව මේ විදේශ විනිමය බැංකු තුළින් ගනුදෙනු කරන්නේ නම්, ඒ මුදල් රටේ සිටින ඔවුන්ගේම ජනතාවට අත්‍යවශ්‍ය දෑ ගෙන එන්න තමයි යොදාගන්නේ.”



විදේශ ශ්‍රමිකයන්ට තව දිරි දීමනා ඕනෑද?

"දිරීදීමනා සම්බන්ධයෙන් කතා කළොත්, කෙනෙක් පිටරක ගිහිල්ලා වැඩ කරලා මුදල් එවන එකට විනිමය අනුපාතයෙන් දිරිදීමනාවක් දුන්නාට, රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් දිදීමනා දීමට අවශ්‍ය නැහැ. මේ රටේ සේවය කරමින්, බදු ගෙවන කෙනාගෙන්, විදෙස් ශ්‍රමිකයන්ට සහනයක් දීම අසාධාරණයි නේද?"  


ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF වැඩසටහන


"අපේ විදේශවලට ගෙවන ණය ගෙවීමට නොහැකි තත්වයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා අපි කියලා තියෙනවා. ඒක තමයි. දැන් තියෙන ඇත්ත තත්වය. අපේ සංචිත හොඳටම අඩුවෙලා. ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩියි. ඒ නිසා අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලා තිබෙනවා. ඒක තමයි සත්‍ය තත්වය. IMF වැඩසටහන අහවල් දවසේ ඉවර කරනවා පුළුවන් කියා කාටවත් කියන්න බැහැ. මාස 6කින් විතර එකඟතාවකට එන්න පුළුවන් කියා අපි බලාපොරොත්තු වෙනවා.” ඩොලර් ළඟ තබාගැනීම ගැන අලුත් නීති

"ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට නෝට්ටු වශයෙන් තමන් ළඟ තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇ.ඩොලර් 15,000ක්. ඒ වගේම, මෙම සීමාව 10,000ක් දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටිනවා. උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි ඩොලර් නෝට්ටු තමා සන්තකයේ ඇත්නම් ඒවා බැංකු පද්ධතියට එක් කිරීමට හෝ රුපියල් බවට පරිවර්තනය කිර්මට සති දෙකක කාලසීමාවක් ලබාදෙනවා.” අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


(ෂමිල පෙරේරා-අද)