may-9-cid-attack

පසුගිය දා ගාලු මුවදොර සහ ‘මයිනාගෝගම’ සාමකාමී විරෝධතාවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.




 අද (මැයි 11) උදෑසන 6.00ට අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළ බව වාර්තා විය.

අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිසක් පසුව ප්‍රචණ්ඩකාරීව හැසීරිම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ නියෝග කරනු ලැබ තිබිණි.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බවත් ඊට පරීක්ෂණ කණ්ඩායම් 06ක් අනියුක්ත කර ඇත.

එසේම ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ අරලියගහ මන්දිරයේ 09 වන දා පැවති හමුව සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද පැවසේ.
ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද අද (11) ගෝඨාගෝ ගම පරිශ්‍රයට කැඳවා ඇති බවද පැවසේ.
අරගල භූමියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්, ඊයේ (10) දිනයේ ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් යොදවා විමර්ශන සිදු කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.



මීට අමතරව අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය මෙන්ම රටේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙයි.

ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය හා ඉන් අනතුරුව රටේ විවිධ ස්ථානවල ඇති වූ නොසන්සුන්තාවලදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පති සී ඩී වික්‍රමරත්න හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත. ඔවුන් අද පෙරවරු දහයට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.