mahinda-rajapaksa-resigned

Update 4pm
කලබල අස්සේ මහින්ද ඉල්ලා අස්වේ

අගමැති මහින්ද රාජපක්ෂ සැලසුම් කළ පරිදි අද සවස ඉල්ලා අස්වී තිබේ. සිය ධූරයෙන් ඉවත්වීමට පෙර ඔහුට අවශ්‍ය වී තිබුනේ තමන්ගේ ජන ශක්තිය විදහා පෑමට බව දහවල් සිදුවූ සිදුවීම් වලින් පෙන්නුම් කළ අතර මහින්ද හිතවාදීන් එය හොඳින් ප්‍රදර්ශනය කර තිබේ.


අවසානයේ ඔහුට ඇඳිරි නීතිය මැද ඉල්ලා අස්වන්නට සිදුවිය. ඉල්ලා අස්වීම තහවුරු කළ නිවේදනය ලිපිය පහළින් ඇත.

ශ්‍රී ලංකාවේ අවස්ථා දෙකක් ජනපති පදවියටත් අවස්ථා 3 ක් අගමැති පදවියටත් පත්ව ඇති මහින්ද රාජපක්ෂ සිය දීර්ඝ දේශපාලන පරිච්ඡේදය අවසන් කරන්නේ ඔහු අපේක්ෂා නොකළ මොහොතක අපේක්ෂා නොකළ ආකාරයකටය.
'මයිනාගෝගම' පිහිටුවමින් මාසයකට ආසන්න කාලයක් තරුණ පරපුර සිදුකළ අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි.

අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වූ බවට පළවන ප්‍රවෘත්තිය තවම තහවුරු කළ නොහැකි බව අගමැති මාධ්‍ය අංශය අද උදෑසන දන්වා තිබුණි.
මේ අතර උදේ පාන්දරින්ම අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ සිය බිරිය සමග සිංගප්පූරුව බලා පියාසර කර තිබුණි.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (8) රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව මීට පෙරද අනාවරණය විය.


නිල නොවන ආරංචි මාර්ග ලෙස එම ආරංචිය පපළවූ අතර සඳහන් කරන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමෙන් අනතුරුව කොළඹට පැමිණි අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී තිබූ බවයි.


අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයට පැමිණ පාක්ෂිකයින් හමුවේ මේ බව ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබූ බව වාර්තා විය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පරණ වීඩියෝවක් එක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති ධූරය මහ ලොකු දෙයක් නොවන බවත්, තමන් සැමදා 'මහින්ද රාජපක්ෂ' බවත් ප්‍රකාශ කළ කතාවක් උඩුගත කර තිබේ.


අගමැති ධූරය ඉවත්වීමත් සමග එකවර දැනට පවතින කැබිනට් මණ්ඩලයද අහෝසිවී යන අතර පසුගිය ආසන්න කාලයේ පත් කළ සියලුම ඇමති පදවි අහෝසි වී යයි. නව අගමැති වරයෙකු යටතේ නව ඇමතිවරු පත්කිරීම ඒ නිසා කඩිනමින් සිදුවිය යුතුය.
හිස්වන අගමැති අසුන දින 3 ක් ඇතුළත පුරවනු ඇතැයිද ඒ සදහා හෙටින් ඇරඹෙන සතියේ පිහිටවිය හැකි අන්තර් කාල ආණ්ඩුවක් වෙනුවෙන් දේශපාලන පක්ෂ තීන්දුවක් ගනු ඇතැයිද පැවසේ. බහුතර කන්ඩායමක් සමග පැමිණෙන නායකයා අගමැති ලෙස පිලිගන්නට ජනපති මින් ඉහත කැමැත්ත පළ කර තිබේ.