
රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියදී ලොතරැයි පතක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවත්, මේ නිසා මීට අදාළ යෝජනා අද (06දා) මුදල් අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කරන බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.ලොතරැයි පත්වල මිල ඉහළ දමනවා නම්, අනිවාර්යයෙන්ම දිනුම් අවස්ථා ඉහළ දමා ලොතරැයි මිලදී ගන්නා ජනතාවටත් සාධාරණයක් සිදුකළ යුතු බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹේ මහතා පැවසීය.
මීට අමතරව ලොතරැයි පතක් අලෙවි කිරිම වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන්නේ රුපියල් 3.75ක මුදලක් බවත්, මේ අනුව මෙම මුදල රුපියල් 08ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය. ලොතරැයි පතක මිල මේ වනවිට රුපියල් තිහක් බවත්, රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කටයුතු කළහොත් ලොතරැයි පතක මිල රුපියල් 40ක් වන බවත් ප්‍රකාශ කළ සභාපතිවරයා, මේ ආකාරයට මිල වැඩි කිරීම තුළින් ලොතරැයි පත් අලෙවිය විශාල ලෙස අඩු විය හැකි නිසා ඒ පිළිබඳවත් අද මුදල් අමාත්‍යාංශ බලධාරීන්ට පෙන්වාදෙන බවද සඳහන් කළේය.
රට පුරා අද හර්තාල් පැවැත්වෙන නිසා එයට සහාය දැක්වීම සඳහා අද දිනයේදී ලොතරැයි අලෙවියෙන් ඉවත්ව සිටිමේ ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්,
ලොතරැයි අලෙවි කිරිම වෙනුවෙන් දැනට ලබාදෙන කොමිස් මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා පැවසීය. පවතින තත්වය තුළ ලොතරැයි පත් අලෙවිය විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ලොතරැයි අලෙවිකරුවන්ගේ හා ලොතරැයි අලෙවි සහයකයින් ආදායම්ද විශාල ලෙස අඩු වී තිබෙන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
-එච්.අයි.තුෂාර-