gymnastic-officers

ජිම්නාස්ටික ක්‍රීඩාව සිදුකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය උපකරණ ගෙන්වීමට 2020 වසරේදී රු. මිලියන 70ක් අනුමත කර ඇතත්, තවමත් එම උපකරණ ගෙන්වීමට බලධාරීන් අපොහොසත් වීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මීට පෙරද හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ කාලසීමාවේදීද මේ අයුරින්ම රු. මිලියන 70ක ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ ගෙන්වීමට වෙන් කර අදාළ ටෙන්ඩරය පවා පිරිනමා තිබියදී නිලධාරින්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් එම උපකරණ  ගෙන්වීම අත්හිටුවා යළි එම මුදල් මහා භාණ්ඩාගාරයට හරවා යවා තිබුණි.



කෙසේ වෙතත් මෙවරද එම වරදම සිදුකර ඇති අතර, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය පරිදි 2020 වසරේදී අදාළ ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ ගෙවීමට ටෙන්ඩරය පවා පිරිනමා තිබුණද මෙතෙක් කිසිදු ක්‍රීඩා උපකරණයක් ගෙවීමට බලධාරින් අපොහොසත්ව සිටිති. විශේෂයෙන් පිට පළාත් 08ක් සඳහා බෙදාහැට අවශ ජිම්නාස්ටික් උපකරණ ගෙන්වීමට මෙලෙස මුදල් පවා අනුමත කර තිබියදී අමාත්‍යාංශය සහ ජිම්නාස්ටික් සංගමයේ බලධාරින් අතර පවතින අසමගිය සහ කඹ ඇදිල්ල නිසා තවමත් එම උපකරණ ගෙන්වීම බාලගිරී දෝෂයක් වී තිබේ. විශේෂයෙන්ම මේ වනවිට 'ජිම්නාස්ටික් ෆ්ලෝව් එකක් පවතින එකම ක්‍රීඩාගාරය සුගතදාස ක්‍රීඩාගාරය වන අතර,

එම 'ෆ්ලෝව් එක පවා ස්ථාපිත කර ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේය. මෙතෙක් නව 'ජිම්නාස්ටික් ෆ්ලෝව්' එකක් ස්ථාපිත කිරීමට හිටපු ක්‍රීඩා ඇමතිවරුනට නොහැකි වීමද ජිම්නාස්ටික් ක්‍රීඩාව ලද විශාල පරාජයකි.කෙසේ වෙතත් සුගතදාස ක්‍රීඩාගාරයේ පවතින 'ජිම්නාස්ටික් ෆ්ලෝව්' එක වෙනුවට නව 'ෆ්ලෝව්" එකක් ස්ථාපිත කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබුණු නමුත් එය භාරගෙන තිබුණු කොන්ත්‍රාත්කරු බාල අමුද්‍රව්‍ය සහ ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමය ශ්‍රේණිගත කර නොමැති උපකරණ ගෙන්වා ඇති බවටද මේ වන විට චෝදනාවක් වේ.

එමෙන්ම එම 'ෆ්ලෝව්' එක සඳහා භාවිත කරන 'කාපට්" පවා නිසි ප්‍රමිතියෙන් තොර බවත් ඒවා සවි කිමේදී කෑලි කෑලිවලට කපා සවිකිරීමද  කනගාටුවට කරුණක් බව ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පෙන්වා දෙති. ඒ අනුව එම බාලවර්ගයේ 'ෆ්ලෝව් එක ස්ථාපිත කිරීමට දැඩි විරෝධයක් මතුව ඇති අතර,

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පවා මෙය අධීක්ෂණය නොකිරීමෙන් මෙන්ම ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල පාඩුවක් සිදුව තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජිම්නාස්ටික් සංගමය සිදුකරන මෙම කඹ ඇදිල්ල නව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම විමර්ශනයක් සිදුකර මෙතෙක් ගෙන්වීමට අපොහොසත්ව ඇති මෙම ජිම්නාස්ටික් උපකරණ සහ ඒ සඳහා වෙන් කළ මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලිය යුතුය.

පසුගිය කාලයේ ක්‍රීඩාවට කිසිදු සෙතක් නොකර නම පමණක් මාධ්‍යයෙන් පුම්බාගත් ක්‍රීඩා ඇමතිවරුන්ගේ නාමලේඛනයට නම් ඇතුළත් කර ගන්නේද එසේත් නොමැති නම් ක්‍රීඩාවේ දූෂිතයන් ළමා ක්‍රීඩා සංස්කෘතිය වර්ධනය කිරීමට දායක වන්නේද යන්න නව ක්‍රීඩා ඇමතිවරයා හමුවේ ඇති අභියෝගය වන්නේය. එනිසා අතීතයේ සිදුවූ වැරදි නැවත නැවතත් සිදු නොවීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වග බලාගත යුතුය.

(පැතුම් ශ්‍රී විජේරත්න)