6259-million-worth-of-drugs-have-been-wasted-due-to-improper-storage

2011 වසරේ සිට 2020 වසර දක්වා වූ කාලයේදී ඖෂධ නිසිලෙස ගබඩා නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 6,259ක ඖෂධ තත්වයෙන් අසමත් වී ඇති අතර, 

එම ඖෂධ තත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබාදී ඇති බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා (කෝප්) වාර්තාවේ නිරීක්‍ෂණවල සඳහන් වේ.මෙම තත්වයෙන් අසමත් (quality fail) ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටද නොහැකි වී ඇත.

මේ නිසා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඖෂධවල සුරක්ෂිතතාව සුරැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් අවසන් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත නියෝග කර තිබේ. වෛද්‍ය සැපයීම් අංශය සතු ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වාගෙන නොමැති බවත්, වෛද්‍ය සැපයීම්, මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවල තැත්පත් කර ඇති බවත් කමිටුව විසින් නිරීක්‍ෂණය කර ඇත.මේ අතර, ඖෂධය ලැබුණු වහාම තත්වයෙන් අසමත් බව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවද,

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ 60ක තත්ව පරික්ෂාව සිදුකළ හැකි නම් මෙම  තත්වය තරමක් දුරට හෝ මගහරවා ගත හැකි බවද අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී තිබේ. වෛද්‍ය සැපයුම් අංශය විසින් තත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අය කර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර තිබේ.මේ කරුණු අන්තර්ගත වූයේ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් පසුගියදා (20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ 09වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේය.

(දිනේෂ් සමරකෝන්)