gampaha-incident

දුම්රියකින් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කර දිනකට පසුව මියගියේ යැයි සිතූ 72 හැවිරිදි පුද්ගලයා ගාලු මුවදොර උද්ඝෝෂණයට ගොස් පෙරේදා (7වැනිදා) උදෑසන නින්වෙසට පැමිණීමෙන් පසුව ඔහුගේ සොහොයුරා සහ අසල්වැසියන් බියටත් විස්මයටත් පත්වීමේ සිද්ධියක් ගම්පහ ඔරුතොට ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු කළුපාලම අසලදී පසුගිය 5 වැනිදා දුම්රියකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇති අතර එම තැනැත්තා තම සොහොයුරා බවට හඳුනාගැනීම මත මරණ පරික්ෂණය සහ පොලිස් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ සොහොයුරා විසින් බාර ගනු ලැබීමෙන් පසුව අවසන් කටයුතු 6 වැනිදා දින සිදුකර ඇත. අවිවාහකයන් වන 72 හැවිරිදි සොහොයුරා සහ තමන් එකට ජීවත්වන බවත් පසුගිය දිනෙක පිළියන්දල යන බව පවසා ඔහු ගිය අතර යළි නොපැමිණීම නිසා සොයා බලමින් සිටියදී දුම්රියකින් වැටී මියගිය පුද්ගලයකු පිළිබඳව ආරංචියක් ලැබීම මත 5 වැනිදා රාත්‍රී 7 ට පමණ කළුපාලම අසලට ගොස් බැලීමේදී මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට හඳුනාගත් බවත් මියගිය තැනැත්තාගේ සොහොයුරා පැවසීය.



පසුදින ගම්පහ රෝහලේදී පැවති මරණ පරික්ෂණයෙන් සහ අධිකරණය වෛද්‍ය පරික්ෂණය  මෙන්ම පොලිස් පරීක්ෂණයෙන් පසුවද මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට හඳුනාගැනීම මත අසල්වැසියන්ද සමග එක්ව 6 වැනිදා අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසීය. මියගිය තම සොහොයුරාගේ හත් දවසේ දානය සූදානම් කරන අන්දම සිතමින් සිටියදී පෙරේදා (7වැනිදා) උදෑසන 8 ට පමණ සොහොයුරා නිවෙසට පැමිණෙනු දැක තමන් භීතියට සහ විස්මයට පත්ව සොයුරාගෙන් තොරතුරු විමසීමේදී තමන් පිළියන්දලට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ගාලු මුවදොර පැවැත්වෙන උද්ඝෝෂණ භූමියට යාමට සිතුනු නිසා එහි ගොස් කාලය ගත  කර මෙලෙස ආපසු පැමිණි බව සිද්ධිය විස්තර කළ බාල සොහොයුරා සඳහන් කළේය.



තම වැඩිමහල් සොහොයුරා මෙන්ම සරමක් සහ කමිසයක් හැඳ සිටි අනතුරට පත්ව සිටි තැනැත්තා තම සොහොයුරාගේම හැඩරුවට සමාන බව ඔහු පැවසූ අතර තමන්ද ප්‍රදේශවාසීන්ද මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට තීරණය කළ බවත් ඔහු පැවසීය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කර සිටියේ, දුම්රිය අනතුරකින් මියගිය තැනැත්තාගේ දේහය බාල සොහොයුරා විසින් හඳුනාගැනීම මත පරික්ෂණවලින් පසුව ඔහුගේ සොහොයුරාට බාරදීමට පියවර ගත් බවත් අවසන් කටයුතු සිදු කිරිල්ලෙන් පසුව ඇති වූ මෙම සිදුවීම හේතුවෙන් මහේස්ත්‍රාත් නියෝගයක් ලබා ගනිමින් භූමදානය කළ සිරුර යළි ගොඩගෙන හිමිකරුවන් සොයා ගැනීම පිණිස පරික්ෂණ සිදු කෙරෙන බවත්ය.