gota-go-home-doctor-speaks

ජනතාවගෙන් මං ඉල්ලනවා  මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වයට මුල්තැන දෙන්න එපා මොකද මේ ආවේගය ඇතුලෙත් සමහරවිට අහිංසක මනුස්සයෙක්ට හානි වෙන්න පුළුවන් - ගෝඨාගෝගම සිටි සඳුනි පෙරේරා වෛද්‍යවරිය කී සංවේදී කතාව


ආදරණීය අම්මේ තාත්තේ, අක්කේ අයියේ ,නංගී මල්ලී ,ශ්‍රී ලාංකික අපි හැමෝටම ඊයේ දවස කියන්නේ අමුතු දවසක්.. මාසයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිනිස්සු බහුතරයක් රටේ දැනට පවතින දේශපාලනික නායකත්වය තුළ රට යන වැරදි පැත්ත ගැන හිතලා රටේ පාලකයන්ගෙන් මේ පාලනයෙන් ඉවත් වෙන්න කියලා ඉල්ලපු සාමකාමී අරගලයක තිස්වෙනි දවස ඊයේ.

ඒ දවස ඇතුලත මම හිතන විදියට බොහොම සංවිධානාත්මකව ඒ සාමකාමී අරගලයට පිරිසක් විසින් පහර දුන්නා.. ඒ පහර දීමෙන් පස්සේ ලංකාව පුරාම හැම තැනකම වගේ යම් යම් සිදුවීම් සිද්ධ වුණා, සිදුවෙමින් පවතිනවා. අරගලයක සාමාන්‍ය පුරවැසියෙක් හැටියට දායකත්වය දීපු කෙනෙක් හැටියට මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ දවස් තිහක් තිස්සේ අරගල භූමියේ අපි ආරක්ෂා කළේ අවිහිංසාව.. ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කළේ නැහැ. ඊයෙ අවි මුගුරු අතට අරගෙන ඇවිල්ල ගහද්දිත් ගෝඨාගෝගම පුරවැසියෝ අනිත් පැත්තට පහර දුන්නේ නැහැ. ඒක නිසා සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් මං ඉල්ලනවා අපිට තරහයි ඒක තේරෙනවා.. නමුත් මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වයට මුල්තැන දෙන්න එපා.. මොකද මේ ආවේගය ඇතුලෙත් සමහරවිට අහිංසක මනුස්සයෙක්ට හානි වෙන්න පුළුවන්.. ඒ වගේම අපි මේ හානිකරන දේපල වලට ඇත්තටම දායක වෙලා තියෙන්නෙ වක්‍රාකාරයෙන් අපේ සල්ලි වෙන්න පුළුවන්.

අපි මේ නාස්ති කරන්නේ අපේම සල්ලි වෙන්න පුළුවන්.. ඒ වගේම මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හරහා මේ අරගලය ප්‍රචණ්ඩකාරී අරගලයක් කියලා ලෝකයට වැරදි පින්තූරයක් මැවෙන්න පුළුවන්.. ඒ වගේම අපි නොහිතන අපි බලාපොරොත්තු නොවෙන බොහොම අභාග්‍යසම්පන්න ඉරණමකට අපිව ඇලදගෙන යන්න මේ ප්‍රචණ්ඩකාරීත්වයට පුළුවන්.. ඉතින් ඒක නිසා බොහොම අදරෙන් ඉල්ලා සිටිනවා අද දවසේ ,හෙටත් ,අනිද්දාත් අරගලයට එකතු වෙන්න. ගොඨාගෙ ගමේ වගේම තමන්ගේ ගම්වලත් අපි මේ මාසයක් කලා වගේ බොහොම සාමකාමීව නිර්මාණාත්මකව අපේ අරගලය අපි අරගෙන යමු.. ප්‍රචණ්ඩත්වයට කිසිසේත්ම ඉඩ තියන්න එපා.. ඔබේ අසල්වාසියාව ප්‍රචණ්ඩත්වයෙන් මුදවා ගන්න..