fish-prices-up

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන් පාභෝගිකයන්ට දරාගත නොහැකි තරමින් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට ඇතැම් එළවළු කිල්ලෝවක තොග මිල රුපියල් 500කටත් වැඩි අගයක් ගන්නා අතර, ඇතැම් එළවළු වර්ගවල සිල්ලර මිල රුපියල් 1,000ක් පමණ වී ඇත.

එළවළුවල තොග මිල ඊයේ (22) දිනයේ ඉතා ඉහළ මට්ටමක පැවති අතර, බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර ද, තක්කාලි කිලෝවක් 600ත් 700ත් අතර ද, කැරට් කිල්ලෝවක් රුපියල් 250ත් 280ත් අතර ද, ලේන්සේ හා ගෝවා කින්ඩෝවක් රුපියල් 140ත් 160ත් අතර ද, තොග මිලකට අලෙවි වූ අතර අර්තාපල් කිලෝවක් රුපියල් 300ක් වැනි තොග මිලකට අලෙවි වූ බව වාර්තා වේ.



සිල්ලර වෙළඳසල්වල තක්කාලි කිලෝවක් රුපියල් 1000ත් 1200ත් අතර, බෝංචි කිලෝවක් රුපියල් 550ත් 600ත් අතර ද, අර්තාපල් කිලෝවක් රුපියල් 360ක් සහ කැරට් කිලෝවක් රුපියල්  300ත් 400ත් අතර ද මිලකට අලෙවි විය.

මේ අතර මාළු මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර තලපත් කිලෝවක් රුපියල් 2,400ත් 2,800ත් අතර ද, කෙලවල්ලන් කිලෝවක් රුපියල් 2,200කට ද, පරා මාළු කිලෝවක් රුපියල් 1,800ත් 2,000ත් අතර මිලකට ද ඉස්සන් කිලෝවක් රුපියල් 1,600ත් 1,800ත් අතර මිලකට ද සාලයන් කිලෝවක් රුපියල් 800ක මිලකට ද අලෙවි විය.

සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පොහොර නොමැතිවීම නිසා ගොවි ජනතාව වගා කටයුතුවලින් ඈත්වීමෙන් අස්වනු අඩුවීම මෙන්ම ඉන්ධන ගැටලුව හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලට බාධා ඇතිවීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.



මේ හේතුවෙන් වෙළඳපලට ලැබෙන එළවළු ප්‍රමාණය අඩුවී ඇති අතරම, අලෙවි වන ප්‍රමාණය ද අඩුවී ඇතැයි හෙතෙම පැවසීය. ගෑස් නොමැතිවීම හේතුවෙන් කුඩා ආපනශාලා, හෝටල් වැසීයාම නිසා ද එළවළු ආදිය අලෙවිවන ප්‍රමාණය අඩුව ඇතැයි කී සභාපතිවරයා එම හෝටල් විවෘත වීමෙන් පසු රට තුළ දැඩි එළවළු හිගයක් මතුවිය හැකි බව ද කීවේය.

සීමාසහිත මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්.එම් උපසේන මහතා පැවසුවේ එළවළු මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුව ඉන්ධන ගැටලුව නිසා ගොවිබිමේ සිට පාරිභෝගිකයා දක්වා එළවළු ප්‍රවාහනය කිරිම ඇණ හිට තිබීම බවයි. මේ අතර ධීවර බෝට්ටුවලට ඉන්ධන ලබා ගැනීමේ ගැටලුව මෙන්ම ප්‍රවාහනයට ඉන්ධන නොමැතිවීම මත්ස්‍ය මිල ගණන් ඉහළ යාමට ද හේතු වී තිබේ. ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් සේ ඔවුන් වෙනුවෙන් සහනයක් ලබා දෙන්නැයි ව්‍යාපාරිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.

 (ඩයනා උදයංගනී -ලංකාදීප)