Another-Rs-244-billion-has-been-printed-in-the-last-one-and-a-half-months

ගෙවුණු මාස එකහමාරක පමණ කාලය තුළ රුපියල් බිලියන 244ක පමණ වටිනාකමකින් යුතු මුදල් අච්චු ගැසීමක් පිළිබිඹු කරමින්, භාණ්ඩාගාර බිල්පත් සඳහා තවත් රුපියල් බිලියන 244ක් එකතු වීමක් දක්නට ලැබේ.  රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වලදී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත සැපයුමට අහිතකර ලෙස බලනොපාන පරීදි මිලදී ගැනීමට මහ බැංකුවට හැකි අතර, එසේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේදී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිම් ලෙස ආර්ථිකයට මුදාහැරීමක් සිදුවෙයි.



ඒ අනුව, 2022 අප්‍රේල් 05වැනිදා. වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවැති භාණ්ඩාගාර බිල්පත්වල මුහුණත වටිනාකම දළ වශයෙන් රුපියල් බිලියන 1,730ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, පසුගිය මැයි 20වැනිදා වනවිට එය රුපියල් බිලියන 1,974ක් දක්වා ඉහළ යමින් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් වෙත තවත් රුපියල් බිලියන 244ක් එකතු වී තිබීම කැපී පෙනෙන තත්වයකි.


රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වේතන හා විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන්ද මුදල් අච්චු ගැසීමක් හැර විකල්පයක් නොමැති බවට පසුගිය දිනවල විවිධ අදහස් මතු වූ පසුබිමක සහ මෙම වසර තුළ ආර්ථික වර්ධනයේ පසුබෑමක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බව පසුගියදා මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ම පවසා ඇති බැවින්, මෙසේ තවදුරටත් මුදල් අච්චු ගැසීම හමුවේ නුදුරු කාලයේදී රට තුළ මතුපිට උද්ධමනයේ සැලකිය යුතු ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි බවට ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

(ෂමිල පෙරේරා )