පාඩු ලබමින් පවත්වා යන බැවින් විදුලිබල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නට සිදුව ඇති බව විදුලිබල හා
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කියා සිටියේ අඩු ආදායම් ලාභීන් පීඩාවට පත්නොවන අයුරින් එම ගාස්තු සංශෝධනය සිදුකිරීමට සැලසුම් කරන බවය.


අඩු ආදායම්ලාභී පවුල්වලට, අඩුවෙන් විදුලිය භාවිත කරන පවුල්වලට සහ රජයේ රෝහල්වලට මේ අවස්ථාවේ සිදු නොකළත් විදුලි බිලේ ගාස්තු සංශෝධනය කළ හැකි කර්මාන්ත, හෝටල් වැනි අංශ මෙම ගාස්තු සංශෝධනය කඩිනමින් වනු ඇති බවත් කැබිනට් මණ්ඩලයේ අනුමැතියත්, මහජන උපයෝගීතා කොමිසමේ අවසරයත් ඇතුව  විදුලිය අඩුවෙන් භාවිත කරන අයට බලපෑමක් නොවන ලෙස ගාස්තු සංශෝධනය සිදුවනු ඇති බවත් ඔහු කීය.
මෙහිදී විදුලි බිල තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩි වෙන්න පුළුවන්.... යයිද ඔහු කීය.
ඒ ගැන ඔහු පැහැදිලි කළේ මෙසේය.

"ජල විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න අපිට රුපියල් 4.17ක් වැය වෙනවා. ඉන්ධනවලින් නිෂ්පාදනය
කරන්න රුපියල් 59.65ක්, ගල් අඟුරුවලින් (නොරොච්චෝලේ) රුපියල් 31.19ක්, පෞද්ගලික බලාගාර හරහා
විදුලි ඒකකයක් රුපියල් 67.15ක් වෙනවා. පුනර්ජනනීය බලශක්ති (සූර්ය, සුළං) ඔස්සේ එක විදුලි ඒකකයකට අපිට වැය වෙන්නේ රුපියල් 16.69ක් වගේ අගයක්.

අපේ තිබෙන සියලු වියදම් එක්ක අපි ගණන් බැලුවාම අපිට විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 47.18ක්
වැය වෙනවා.නමුත් විදුලිය අය කරගැනීමේදී, උපරිම ඒකක 30ක් සඳහා..එහෙම පවුල් ලක්ෂ 18ක් ඉන්නවා. අඩු ආදායම්ලාභීන්, ඒ ලක්ෂ 18න්ම අය කරන්නේ ඒකකයට රුපියල් 2.50යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 850ක හෝ ඊට අඩු බිලක් ගෙවන ලක්ෂ 18ක් නිවාස ඒකක තිබෙනවා. නමුත් අපිට වියදම් වෙනවා රුපියල් 47ක මුදලක්. 180න් උඩ ඒකක ගන්න අයටත් අය කරන්නේ රුපියල් 45ක වගේ මිලක් ඒකකයකට.
විදුලි උත්පාදනයට වැඩි මුදලක් වැය වුවත් හැමෝම ගෙවන්නේ අඩු මුදලක්. ඒක ඒකක 30ක් පාවිච්චි
කරන කෙනත් ඒකක 180ක් පාවිච්චි කරන කෙනත් එහෙමයි."