vietnam-rice-sri-lanka

වියට්නාමයෙන් ආනයනය කළ වී සහල් බවට පත්කර ඊට අමතරව ‌වෙනත් රටවලින් අඩුමිලට ආනයනය කරන ලද සහල් මෙරට ප්‍රධාන මෝල්වලදී පිරිසිදු කර වැඩි මිලට අලෙවි කරන බව අනාවරණය විය.

එසේම දේශීය වෙළෙඳ නාම යටතේ ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනාවරණය කළේය.

මෙයට අමතරව වියට්නාමයෙන් වී කිලෝව රුපියල් 25-30 අතර මුදලකට ආනයනය කර රටේ පවතින වත්මන් දේශීය සහල් මිලටම දේශීය වෙළෙඳ නාම යටතේ ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු කීය.



ආර්ථික හා දේශපාලන අරාජිකත්වයෙන් මිදී ජනදිවිය නංවාලන තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අනුරාධ තෙන්නකෝන් ඊයේ (26 වැනිදා) මේ බව පැවසුවේය.

පසුගිය මාස් කන්නයේදී මෙරට සහල් නිෂ්පාදනය 60% කින් පමණ පහත වැටුණු බවත් පොහොර නොමැති නිසා යල කන්නයේ වගා කටයුතුද ගොවීන් මේවන තෙක් ආරම්භ කර නොමැති බවත් පැවසූ ඔහු එළඹෙන අගෝස්තු මාසය වනවිට මේ රටේ පවතින සහල් තොග අවසන්වී බරපතළ ආහාර අර්බුදයක් පැන නගින බවද අවධාරණය කළේය.



රටේ පවතින සහල් හිඟය පියවා ගැනීම සඳහා විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට ඩොලර් මිලියන 2000 ක් පමණ අවශ්‍ය බවත් අද රට පත්ව තිබෙන තත්ත්වය අනුව එවැනි ඩොලර් ප්‍රමාණයක් සොයා ගැනීමට නොහැකි බවත් හෙතෙම කීය.

ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65000 ක් ලබාදෙන බව පැවසුවත් එය රටට පැමිණෙන දිනයක් කිසිවෙකුත් නොදන්නා බවත් රජය ලබාදෙන බව කියන රුපියල් 10000 යේ පොහොර මිටි කොතනකවත් නොමැති බවත්, මේ වන විට පොහොර මිටියක මිල රුපියල් 40,000 සිට 50,000 දක්වා වන බවත් කී සභපතිවරයා මෙම පසුබිම තුළ ගොවීන් යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම කල්දමමින් සිටින බවද අවධාරණය කළේය.