duminda-shehan-robbed

මැති ඇමතිවරුන්ගේ තිවෙස්වලට පහර දී ගිනි තබා දේපොළ සොරකම් කිරීමේ සිද්ධිවලට සමගාමීව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනිඅවියක් අස්ථානගත වී ඇති බව අනුරාධපුර පොලීසිය කියයි.හිටපු අමාත්‍යවරයාගේ මවට අයත්,

සනසුම,අංක 630, ගුවන්තොටුපළ පාර, අනුරාධපුර ලිපිනයේ පිහිටා ඇති ඉඩමට පසුගිය 09වැනිදා බලහත්කාරයෙන් ඇතුළු පිරිසක් එම  නිවසේ සහ හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයේ තිබූ දේපොළවලට හානි. සිදු කර ගිනි තබා විනාශ කර තිබිණි.

එම අනර්ථය සිදුවන අවස්ථාවේදී නිවසේ කාමරයක තිබූ තමාට අයත් මිලිමීටර් 9 වර්ගයේ ලියා පදිංචි ගිනි අවිය කලහකාරී පිරිස ගිය පසු, සොයා බැලීමේදී නොතිබූ බව පවසමින් ඳුමින්ද දිසානායක මහතාගේ සහෝදරයෙකු විසින් පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලීසිය කියයි. ඒ අනුව මෙම ගිනිඅවිය කලහකාරි පැමිණි පිරිස් සොරා ගෙන ගියේද. නැති නම් ගින්නෙන් විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබේද යන්න පිළිබද සොයා බැලීමට වැඩිදුර විමර්ශන සිදු කරන බව සිදු පොලීසිය සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර කාර්යාලය පිහිටි නිවසට ඇතුළු වූ කලහකාරින් පිරිසක් නිවසේ අල්මාරියක තිබු මිලියන 10ක් පමණ වටිනා රන් පවුම් 60ක් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

  පසුගිය 9වැනිදා රාත්‍රී කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් අක 600/ එම්, ගුවන්තොටුපළ පාර ලිපිනයේ පිහිටි ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වී, එම නිවසට සහ කාර්යාලයට ගිනි තබා තම නිවසේ අල්මාරියක දමා තිබූ බිරිදට අයත් රන් භාණ්ඩ තොගයක් එම පිරිස් පැහැර ගෙන ගොස් ඇති බවට හිටපු අමාත්‍යවරයෙකු වන හේරත් බණ්ඩාගේ සේමසිංහ, (පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාගේ පියා) සිදු කළ පැමිණිල්ලක සඳහන් බවද පොලීසිය කියයි.

එම කලහකාරී සිද්ධියට සම්බන්ධ පිරිස් හිටපු අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ මහතාට අයත් කාර්යාලයේ තිබූ අමාත්‍යාංශ මාධ්‍ය  ඒකකයට අයත් රුපියල් 1,923,500ක දේපොළද ගිනි තබා විනාශ කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බවද පොලීසිය කියයි.එම කාර්යාලයට, නිවසට පහර දී දේපළවලට අලාභ හානි සිදු කර ගිනි තැබීම හේතුවෙන් රුපියල් 48,912,200ක, අනර්ථයක් සිදුව ඇති බවත්, සොරකම් කළ රන් භාණ්ඩවල වටිනාකම 12,600,000ක් බවට එච්. බී. සේමසිංහ මහතා විසින් පෙරේදා (17දා) වාර්තාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇතැයි පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවූ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනුරාධපුර නගරයේ බඩාරනායක මාවත, දෙවැනි පියවර, දහයියාගම හන්දිය, පුල්ලයාර් හංදිය, ගෙවල් 55, වන්නියකුලම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 6දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලීසිය පවසයි.