The-three-MPs-who-were-thrown-into-the-Beira-Lake-came-home-in-a-minivan

කොළඹ ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහරදීමට ගිය පිරිස අතරේ සිටියදී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව බේරේ වැවට දැමූ බව කියන ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරුන් තිදෙනකු ඇතුළු සිව්දෙනකු සිද්ධියෙන් දින තුනකට පසු ආරක්ෂකාරි පියවරක් වශයෙන් අවමංගල්‍ය රථයකින් නිවාසවලට පැමිණ ඇතැයි වාර්තාවේ. ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහරදීමට ගිය පිරිස අතරේ සිටියදී මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනා සහ අනෙක් පුද්ගලයා අල්ලාගත් පිරිසක් ඔවුන්ට හොඳ හැටි පහරදී බේරේ වැවට දමා ඇතැයි කියති.  සෑහෙන වේලාවක් බේරේ වැවේ සිටි මොවුන් සිවුදෙනා ගොඩබිමට පැමිණ දින 03 ක කාලයක් කිසියම් ස්ථානයක සැඟව සිට ඇති බව පැවසේ.



එක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගම්පහ දිස්ත්‍රික්කයේ මිනීපෙට්ටි සාප්පුවක් පවත්වාගෙන යන ඔහුගේ හිතවතකුට ජංගම දුරකතනයෙන් කතා කර සිද්ධවූ අබැද්දිය පවසා ආරක්ෂාකාරිව පැමිණීමට අවමංගල්‍ය රථයක් ඉල්ලා සිටියේ  වෙනත් කළ හැකි දෙයක් නොමැති බවද පවසමිනි. මිනී පෙට්ටි සාප්පු අයිතිකරු ඔවුන් සැඟව සිටින ස්ථානය අසා සාප්පුවේ තිබෙන ඉස්තරම්ම අවමංගල්‍ය රථය පිටත්කර ඇති බවද අනාවරණය විය.

මොවුන් හතරදෙනා අවමංගල්‍ය රථයේ වැතිර කොළඹ ප්‍රදේශයේ සිට ඔවුන් පදිංචි ප්‍රදේශවලට සැන්දෑ කාලයේදී පැමිණ ඇති අතර අවමංගල්‍ය රථයක් හදිසියේ පැමිණීමෙන් පවුල්වල උදවිය බියට පත්ව ඇති බවද වැඩිදුරටත් දැනගැනීමට තිබේ. අසල්වාසීන්ද අවමංගල්‍යය රථයක් ඔවුන්ගේ නිවෙස්වලට හදිසියේ පැමිණියේ ඇයිදැයි විපරම්කර බැලීමේදී මන්ත්‍රීවරුන් තිදෙනා සහ අනෙක් පුද්ගලයා එයින් බැස නිවාසවලට රිංගන අයුරු දැකීම නිසා මෙම සිදුවීම ප්‍රදේශය පුරා පැතිර ගොස් එය ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති බවද පැවසේ.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -ලංකාදීප