ranil-replys-harin-manusha

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව රජයකට සහය පළ කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ කරුණු 08කින් යුත් ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තමන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර, අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් නව රජයට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සහය ලබාදෙන බව ප්‍රකාශ කළා.

ඔවුන්ගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ එක් එක් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමට බහුතර මතය සමඟ එකඟ වන බවත් ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම සඳහා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව අධ්‍යයනය කර ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.



මැයි 09 වැනි දින කොළඹදී සාමකාමීව විරෝධතාවයේ නිරතවූවන්ට පහරදීම සම්බන්ධයෙන් පොලිසිය ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවත් ඒ සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා අවශ්‍ය නම් විදේශ සහය ලබා ගැනීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.

දැනට බන්ධනාගාරගතව සිටින විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අදාළ නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රට තුළ ස්ථාවරභාවයක් ඇති වූ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන බවට ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ සපථ කළා.