105821-people-have-sought-employment-in-the-country-during-the-past-5-months

2022 වසරේ මුල් මාස පහ තුළ ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන ද මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 105,821දෙනෙකු පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. එය පසුගිය 2021 වසරේ මුල් මාස පහට සාපෙක්ෂව 286%කින් ඉහළ යාමක් බවද කාර්යාංශය පවසයි. කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ දත්ත වාර්තාවලට අනුව 2021 මුල් මාස 05 තුළ 27,360දෙනෙකු රැකියා සඳහා පිටව ගොස් ඇති අතර,

එය මේ වසරේ 78,461කින් ඉහළ යාමකි.2022 මුල් මාස 05 තුළ මේ වනතෙක් ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශගත වී ඇති ප්‍රමාණය 67,156කි. ඉන් පිරිමි ශ්‍රමිකයන් 30,040ක් හා කාන්තාවෝ 17,121දෙනෙක් ඇතුළත් වෙති. එසේම මේ වසරේ මේ වනතෙක් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් කාන්තාවන් 25,224ක් හා පිරිමි පුද්ගලයන් 13,441ක් රැකියා සඳහා විදේශගත වී ඇති අතර, එහි සමස්ත අගය 38,665ක් ලෙස පෙන්නුම් කරයි.

ඒ අනුව සමස්ත ප්‍රමාණය 105,821කි.ස්වයං මාර්ගයෙන් වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 19,133කි.

කුවේට් රාජ්‍යයට 12,70ක්ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 11,000ක් හා දකුණු කොරියාවට 1.754දෙනෙකුද රැකියා සඳහා පිටව ගොස් ඇත. පසුගිය කාලයේදී රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවාගන්නා රටවලට අවශ්‍යතාව පරිදි කෝවිඩ් මර්දන එන්නත් කිරීම හා නිරෝධායන පහසුකම් අවස්ථා සැලසීම, පුහුණු අවස්ථා වැඩි කිරීම, ඔන්ලයින් ලියාපදිංචි කිරීම වැනි සාධනීය පියවර මගින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්ධනයට පියවර ගෙන ඇති බවද කාර්යාංශය කියයි.විදේශ රැකියාලාභීන්ගේ කටයුතු පහසු කිරීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිත කරමින් නවතම ජංගම යෙදවුමද පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි.

එමගින් ඔන්ලයින් ක්‍රමයට පැමිණිලි භාරගැනීම, විදේශ රැකියා හා බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන මෙන්ම තමන්ගේ ලියාපදිංචි තොරතුරු ඇතුළු පහසුකම් රැසක් ලබා ගැනීමට හැකි වේ.

එසේම කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය මගින් විදේශ රැකියා සම්බන්ධ බොහෝ කටයුතු ඉතා පහසුවෙන් හා ඉක්මනින් සිදුකර ගැනීමට පහසුකම් සලසා තිබේ. මේ වනවිට රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් තරුණ පිරිස් විශාල වශයෙන් රැකියා සඳහා විදේශගත වීමේ ප්‍රවණතාවක්ද පෙන්නුම් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තවලට අනුව මේ වසර මුල් මාස 03 තුළ විදේශ රැකියාලාභීන් සිදුකළ ප්‍රේෂණ  ඇමෙරිකානු ඩොලර් මිලියන 783ක් වේ. මහන්සියෙන් උපයන මුදල විශ්වාසවන්තව තම ඥාතීන්ට යොමු කිරීමට නම් මෙරට වාණිජ බැංකු හරහා තම ප්‍රේෂණ එවන ලෙසද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

(නවෝද්‍යා පවනි)