The-foreign-girl-who-came-to-eat-at-the-Bentota-restaurant-has-been-drugged-and-abused

බෙන්තොට ප්‍රදේශයේ අවලකට ආහාර ගැනීමට ගොස් ඇණවුම් කළ මිශ්‍ර පානයකට කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර බීමට සලස්වා මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියක අතවරයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනකු ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.  

අතවරයට පත් විදෙස් තරුණිය ඇගේ මිතුරිය සමග ඉකුත් 30 වැනිදා මෙරටට පැමිණ එදිනම කටුනායක ගුවන් තොටුපොළේ සිට සංචාරක සමාගමක් සමග ඇල්ල වැල්ලවාය බදුල්ල නුවර, නුවරඑළිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ  රැසක සංචාරය කර නැරඹීමෙන් අනතුරුව ඉකුත් 10 වැනිදා බෙන්තොට තරු පන්තියේ සංචාරක හෝටලයක ඉතිරි දින ගණන ගතකිරීමට අද (17 වනිදා) තෙක් නැවතීමට පැමිණ සිටියදී වෙසක් පෝයට පෙර දින අවන්හලකට ගොස් සිටියදී මෙම අතවරයට මුහුණ පා ඇතැයි පරික්ෂණ  සිදුකරන පොලිසිය කියයි.



සිද්ධිය වූ දින අතවරයට ලක්වූ තරුණිය ඇගේ මිතුරිය සමග මෙම අවන්හලට ආහාර ගැනීමට ගොස් සිටියදී දෙදෙනා ඇණවුම්කර තිබෙන මිශ්‍ර පානයක් බීමෙන් පසු අසාමාන්‍ය මත් ගතියකට පත්ව තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි. පසුව එක් තරුණියක තමන් නැවතී සිටි  හෝටලයට පැමිණ පියවි තත්වයට පත්වීමෙන් අනතුරුව තම මිතුරිය නොමැති බව හෝටල් කළමනාකාරීත්වයට  දැනුම්දී පසුව හෝටල් කළමනාකාරිත්වය පොලිසියට පැමිණිලි කර තිබෙන බව බෙන්තොට පොලිසිය කියයි. අතරතුර අතවරයට පත් 26 හැවිරිදි විදෙස් තරුණියද පොලිසියට පැමිණ තිබෙන අතර ප්‍රකාශ ලබාගෙන ඇය බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් අවන්හල් හිමිකරු සහ සේවකයන් දෙදෙනා වන වයස අවුරුදු 40, 28 සහ 23 හැවිරිදි වියේ පසුවන්නන් වන අතර ඔවුහු තිදෙනා බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටිති.