9.30pm
සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක වන වසුන්දරා ගමගේ මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

නඩුව එළැඹෙන ජූනි 24 වනදා කැඳවීමට නියමිතයි. ඊයේ (18) පස්වරුවේ නාරාහේන්පිට ඇගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඇයව අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පරිගණක අපරාධ පනත යටතේ ඇය ප්‍රචණ්ඩත්වයට අනුබල දුන්නේ යයි චෝදනා ගොනු කර තිබුණි.

වසුන්දරා ගමගේ මහත්මිය නුගසෙවණ ඇතුළු ජාතික රූපවාහිනියේ ප්‍රකට වැඩසටහන් ගණනාවක සම්ප්‍රවේශිකාවක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.

8.00pm
පසුගිය මැයි 09 වනදා ප්‍රචණ්ඩකාරී සිදුවීම් සඳහා දායක වූ බවට සැකකරන සමාජ ජාලා පිටු හා නාලිකා 59 ක් හඳුනාගත් බව පොලිසිය මින් ඉහත වාර්තා කර තිබූ අතර අද දින පොලිසිය දන්වා සිටින්නේ ඉන් සමාජ ජාලා ක්‍රියාකාරීන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.



අත්අඩංගුවට ගෙන ඇති අය වන්නේ දික්වැල්ලේ වයස 22 තරුණයෙකු, නුගේගොඩ වයස 21 තරුණයෙකු හා නාරාහේන්පිට වයස 39 ක කාන්තාවකි.
වයස 22 තරුණයා වාහන අලුත්වැඩියා කරන්නෙකු බවත් පොලිස් හමුදා ගෙවල් ගිනි තියන්න යයි සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩ යැවූ බවත් පොලිසිය කියයි.
වයස 21 තරුණයා  පුද්ගලික සමාගමක සේවය කරන බවත් ඔහුද ආරක්ෂාවට තර්ජනයක්වන දේවල් පළ කර තිබූ බවත් පොලිසිය කියයි.
වයස 39 ක්වූ කාන්තාව නාරාහේන්පිට පදිංචි රූපවාහිනී නිවේදිකාවක බවත් ඇයද ප්‍රචණ්ඩත්වය හඟවන දේවල් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය පවසයි.



පරිගණක අපරාධ කොට්ඨාසය මගින් පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කර ඔවුන් අධිකරණයට යොමු කරන බවද දන්වා තිබේ.  පොලිස් නිවේදනය පහතින්