DS-secretaries-withdraw-from-issuing-fuel-for-essential-services

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී පවතින ගැටලු කිහිපයක් හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමේ රාජකාරී කටයුතුවලින් ඊයේ (23) සිට තමන් තාවකාලිකව ඉවත් වූ බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ල්කම්වරුන්ගේ සංගමය පවසයි. ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමින් මේ බව පැවසීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.



ප්‍රාදේශීය ලේකම්වරුන් වශයෙන් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන්වල දී සියලු කටයුතු කිරීමේ දී අපි මැදිහත්ව කටයුතු කිරීමට නිරන්තරයෙන්ම සූදානමින් සිටිනවා. මේ වන විට රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්තුමාගෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු සියලු ආයතනවලින් අපට උපදෙස් දීල තිබුණා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ඉන්ධන නිකුත් කිරීමේ කාර්යයට මැදිහත් වෙන්න කියලා. ඒ අනුව අපි කටයුතු කළා. නමුත් මේ වන විට ඉන්ධන ලැබීම සීමිතවීම නිසාත් උග්‍ර ඉන්ධන හිඟයක් පැවතීමත් මුවේ මේ කාර්යය කර ගෙන යාම ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්තුමාගේ තනතුර අහෝසිවීමත් සමඟම අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා ලබාදීමට තිබූ කාර්යන්ට බාධාවක් එල්ල වුණා.

පසුගිය 21 වන දින ඇමැතිතුමන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළා ගිලන් රථ පමණක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා ඉන්ධන ලබාදීම ප්‍රමාණවත් කියලා. ඒ නිසාත් අපි ගැටලුකාරි තත්වයකට මුහුණ දීලා ඉන්නවා.

හේතුව අනෙකුත් පාර්ශ්වයනුත් අත්‍යවශ්‍ය සේවාව යටතේ ඉන්ධන අපෙන් ඉල්ලනවා. ඒ ක්‍රියාවලිය හරහා අපි පත්වෙලා ඉන්න අසීරුතාව මත අපි ඉල්ලන්නේ මේ කාර්යයට වඩාත් විධිමත් වූ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.  විශේෂයෙන්ම කූපන් පතක් හඳුන්වා දීලා එහෙම නැත්නම් කිව් ආර් කේතයක් හරහා ඉන්ධන ලබාදීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඉන්ධන රැස් කරන්නන් පිළිබඳව සොයා බලා යම් ක්‍රියාමාර්ගයක් ගන්නත් මෙමගින් පුළුවන්. මේ ක්‍රියාවලිය නිවැරැදි වනතුරු අපට ඇති වෙලා තියෙන අපහසුතාවන් හේතුවෙන් අපි මේ ක්‍රියාවලියෙන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කරල තියෙනවා. නමුත් මේ සඳහා නිවැරැදි ක්‍රියාවලියක් සකස් වනවා නම් අපි නිරන්තරයෙන් මේ සඳහා සහාය ලබා දෙන්න සූදානම්.