Veterinarian-wife-with-baby-Husband-killed-dog-in-medicine

පශු වෛද්‍යවරිය වෙනුවට ඇගේ සැමියා විසින් සුනඛයකුට ප්‍රතිකාර කරනු ලැබීමෙන් පසු සුනඛයා මිය යාමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇතැයි වේගොඩ පොලිසිය කියයි. පශු වෛද්‍යවරිය දරු ප්‍රසූතියෙන් පසු නිවසට වී සිටින බැවින් වෛද්‍යවරියගේ ස්වාමිපුරුෂයා විසින් සතුන්ට ප්‍රතිකාර සිදු කරන බවත් එම පශු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු තම සුනඛයා මියගිය බවත් පවසමින් පශු වෛද්‍යවරියට එරෙහිව වේයන්ගොඩ විජය මාවතේ පදිංචිකරුවෙකු මෙසේ පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.



තම නිවසේ හදාවඩාගත් සුනඛයාට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අදාළ පශුවෛද්‍ය මධ්‍යස්ථානයෙන් දින හතරක් සුනඛයාට ප්‍රතිකාර කළ බවත් පසුව ඉකුත් 13 වැනිදා සුනඛයා මියයාමෙන් පසුව සොයා බැලීමේ දී දැනගන්නට ලැබී ඇත්තේ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරියක් සිටින නමුත් ඇය වෙනුවට  වෛද්‍යවරයකු නොවන ඇගේ සැමියා මෙලෙස ප්‍රතිකාර කර ඇති බවත්ය.

මියගිය සුනඛයා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා ජර්මන් ෂෙපඩ් වර්ගයේ සුනඛයෙකු බව පැමිණිලිකරු සඳහන් කරයි.  සුනඛයාට ප්‍රතිකාර කිරීමේ දී පශු වෛද්‍යවරිය වෙනුවට ඇගේ සැමියා ප්‍රතිකාර ලබාදුන් බවට පැමිණිලිකරුගේ දියණියගෙන් ද පොලිසිය සාක්ෂි සටහන් කරගෙන ඇත.  වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක මහින්ද මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වති.

(පුෂ්පකුමාර මල්ලවආරච්චි-ලංකාදීප)