Youth-arrested-for-spying-from-Parliament-High-Security-waters

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධිආරක්ෂක කලාපයට අයත් ජල තීරයට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටි බවට සැක කෙරෙන තරුණයෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ (පාර්ලිමේන්තු) නිලධාරියා විසින් ඊයේ (22) උදැසන අත්අඩංගුවට ගනු ලැබීය. පාර්ලිමේන්තු පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.පී.ජී. ප්‍රනාන්දු මහතා දුන් තොරතුරක් අනුව බුද්ධි අංශ නිලධාරියා සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන ඇති බව තලංගම පොලිසිය කියයි.

සැකකාර තරුණයා මොරටුවේ පදිංචිකරුවෙකි.

මොරටුවේ සිට පා පැදියකින් පැමිණ ඇති සැකකරු මෙම ජල තීරයට වැටකින් ද පැන ඇතුළු වූයේ ඇයි දැයි ප්‍රශ්නයක් වන අතර, ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. අධි ආරක්ෂක කලාපයට ඇතුළුවීමට හේතුව පැහැදිලිවම පැවසීමට සැකකරු අපොහොසත්ව සිටින බව ද එම නිලධාරියා සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියක නිරතව සිට ඇති බවත් පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව ඔහු වහා ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලබා දී තිබු තොරතුරක් අනුව නාවික හමුදාවේ නිලධාරීහු පිරිසක් ද ඒ ස්ථානයට ඊයේ උදේ පැමිණ සිටියහ. සැකකරුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා ඒ අවට ප්‍රදේශවල සීසීටීවී කැමරා  ද පරික්ෂා කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.