Dont-be-afraid-of-monkey-flu-WHO

මේ වනවිට රටවල් 16 ක ව්‍යප්තව ඇති  'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' (මන්කි පොක්ස්) සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමෙන් වළකින්නයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. "වඳුරු උණ' මධ්‍යම සහ බටහිර අප්‍රිකාවට සීමා වූ වයිරස රෝගයක් වන අතර මේ වනවිට එය ඉතා වේගයෙන් බටහිර රටවලත්, ඕස්ට්‍රේලියාවේත්, ඊශ්‍රායලයේත් ව්‍යාප්ත වෙමින් පවතී. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ එරට සමාජයේ 'වඳුරු උණ' ව්‍යාප්තවීමක් වන බවය. බෙල්ජියම 'වඳුරු උණ" ආසාදිතයන් දින 21 ක් නිරෝධායනය කර තැබීමට නව සෞඛ්‍ය නීති පවා හඳුන්වාදී ඇත. මේ වනවිට ලොව නන්දෙසින් වඳුරු උණ රෝගීන් 100 කට වඩා වාර්තා වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේ නමුත් කිසිදු මරණයක් වාර්තා වී නැත.



"අප්‍රිකා කලාපයට සීමා වූ වඳුරු උණ වයිරසය බටහිර රටවල ව්‍යාප්ත වෙනවා. මෙය අසාමාන්‍ය ව්‍යාප්තවීමක් බව ඇත්ත. ඉතිහාසයේ මීට පෙර මෙවැන්නක් අපට දකින්න ලැබුණේ නැහැ. වඳුරු උණ වසුරිය සහ පැපොල අතර දැමිය හැකි වයිරසයක්. එය කොවිඩ් 19 වයිරසය තරම් දරුණු මාරක වයිරසයක් නොවෙයි. අප්‍රිකාවෙන්  පිට ව්‍යාප්ත වන වඳුරු උණ පාලනය කිරීමට හැකියාව තිබෙනවා. අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැතිර යන නව වයිරස සම්බන්ධ ප්‍රධානී මරියා වොන් කෙර්කෝව් ජිනීවා නුවර පැවැත්වුණු මාධ්‍ය හමුවට එක් වෙමින් පැහැදිලි කළාය.

'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල  රෝග ලක්ෂණ වනේ උණ, හිසරදය, මාංශපේෂී වේදනා සහ මහන්සියයි. පැපොල රෝගයේ දී මෙන් බිබිලි  මතුවෙයි.

ඒ මුහුණේ සහ අත් පා වලය. වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ ආසාදිතයකු සමීප ලෙස ඇසුරු කිරීමේදීය. බටහිර රටවල සමලිංගිකයන් බහුල අතර, රෝගී වූ වැඩි දෙනා සමලිංගික තරුණයන් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.  පැපොල (ස්මෝස්පෙක්ස්) වයිරසය සඳහා නිපදවා ඇති වයිරස නාශක ඖෂධවලින් මෙන්ම පැපොල රෝගයෙන් බේරීමට නිපදවා ඇති  ප්‍රතිශක්තිකරණ එන්නතින් ද 'වඳුරු පැපොල' මර්දනය කළ හැකි බව  වෛද්‍යවරු පවසති.