basil-malwana

මල්වානේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදීම ජුනි මස 03 වැනි දාට කල් තබා තිබේ.


ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ රටේ පවතින අයහපත් වාතාවරණය මත මහාධිකරණය හමුවේ පෙනීසිටීම අපහසුව ඇතැයි නීතිඥවරු අද නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට දැනුම් දුන්හ.


දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර දාසයක ඉඩමක් මිලදී ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා තුනක් යටතේ මෙම නඩුව පවරා තිබේ.
දෙවැනි විත්තිකාර තිරුකුමාරන් නඩේෂන් මහාධිකරණයට ඉදිරිපත් වීම සඳහා විදෙස්ගතව සිට පැමිණ ඇති බවත් ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙනී නොසිටින බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.


පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාංකා ප්‍රනාන්දු මහත්මිය පෙනී සිටියාය.
පසුගිය මාර්තු 25වැනිදා ගම්පහ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු නිමල්  රණවීර මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල විසින් කැඳවන ලද පළමු සාක්ෂිකරු වූ උපුල් කුමාර රාමවික්‍රම (එම නිවස ඉදිකළ කොන්ත්‍රාත්කරු) මූල්‍ය අපරාධ  විමර්ශන කොට්ඨාසයට තමා විසින් පැමිණිල්ලක් සිදුකර නොමැති බවත්, ලබාදී ඇති ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බවත් සාක්ෂි දෙමින් පවසා සිටියේය.  සාක්ෂිකරු එසේ පවසා සිටින හෙයින් බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති  මෙම නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බවට පැමිණිල්ල මෙහෙයවූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා මහාධිකරණයට දැනුම් දුන්නේය. එදින (මාර්තු 25) එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් හත්දෙනෙකු මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.



පැමිණිල්ල විසින් තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු නොකරන බවට මහාධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව එම සාක්ෂිකරුවන් හත්දෙනා මහාධිකරණය මගින් මුදාහරින ලදී. පැමිණිල්ල විසින් තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු නොකර නඩුව අවසන් කර ඇති හෙයින් තම සේවාදායකයන් චෝදනාවලින් නිදහස් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයෝ මහාධිකරණය හමුවේ ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නඩුවේ තීන්දුව ලබා දීම ජුනි මස 03 වැනි දාට කල් තැබිණ.
එදිනට විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයේම නීතිඥවරුන් මහාධිකරණය හමුවේ එකඟතාවය පළ කර ඇත.