බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 9 හැවිරිදි දැරියගේ මළ සිරුර ඇගේ නිවසට යාබද වගුරු බිමකින් අද (28) සවස සොයා ගෙන තිබේ. ඇයව කිසියම් කෙනෙකු හෝ පිරිසක් වෙනත් තැනකදී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි මූලික විමර්ශන අනුව පොලිසිය සැකකරයි.
ඊයේ පෙරවරුවේ සිට මෙම දැරිය අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ අතර දැරිය සොයා ගැනීමට පොලීසිය මහජන සහයද ඉල්ලා තිබුණි.
මේ අතර දැරිය පැහැර ගන්නට ඇතැයි සැක වෑන් රථයක අංකයක් ගැන මුලින් විමර්ශනය කළද එය එම ස්ථානයේ කුකුළු මස් කඩයට පැමිණි වාහනයක් පමණක් බව පසුව කළ විමර්ශන අනුව තහවුරු විය. හිමිකරු පදිංචිව සිටින පිළියන්දල ප්‍රදේශයට ගොස් ඔහුගෙන්ද සිද්ධියට අදාළ ව ප්‍රකාශයක් ලබාගත් නමුත් එහි සැකයක් පැවතී නැත.පසුව කාන්තාවක සමග පිට​කොටුව ප්‍රදේශයේ දැරිය සිටින බවකියමින් ෆේස් බුක් ඔස්සේ පළවූ ඡායාරූපයක් ඔස්සේ ඇය හමුවූ බවට ආරංචියක් අද දහවල් කාලයේ පැතිර ගියද පොලිසිය සිදු කළ විමර්ශන අනුව එය වැරදි බව ඒත්තු යන ලදි.



පොලිස් කණ්ඩායම් කිහිපයක් දැරිය සෙවීම සඳහා එම ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබූ අතර අද පස්වරුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව දැරියගේ සිරුර නිවසට යාබද ප්‍රදේශයේ වගුරු බිමක තිබී සොයා ගන්නි ලදි.
ඥාතියෙකු කියවා තිබුනේ දැරියගේ සිරුර තලා පොඩි කර විසිකර දැමූ ආාකරයක් දිස්වූ බවයි.
බණ්ඩාරගම, අටුළුගම, අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය ඊයේ පෙරවරු 10ට පමණ නිවසට මීටර 250ක පමණ දුරින් පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් අතුරුදන් බවට දෙමපියන් පොලිසියට පැමිණිලි කර තිබුණි. දැරිය වෙළෙඳසැලට ගොස් පිටතට පැමිණෙන ආකාරය සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබු අතර පොලිසිය දැරියගේ මව, පියා, ඥාතීන් ඇතුලු පුද්ගලයින් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
පානදුර ප්‍රදේශයේ දැරියගේ ඥාතියෙකු ගැනත් දැරියගේ පියා ගැනත් දීර්ඝ අධ්‍යයනයක් කරන බව පොලිසිය දන්වා තිබේ. ඔවුන්ගෙන් දිගටම කටඋත්තර ගෙන තිබේ.
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් බණ්ඩාරගම හා පානදුර පොලිසි එක්ව විමර්ශන සිදු කෙරේ.