ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට පාර්ලිමේන්තුවේදී පෙරේදා (19) කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කර තිබේ.
ඩේලි මිරර් පුවත්පත මේ ගැන ගුවන් හමුදාව අමතා තහවුරු කර තිබෙන අතර ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා මෙතෙක් ගුවන් හමුදාවේ සේවය කළ බවට වාර්තා නොමැති බවයි.
මන්ත්‍රීවරයා වරක් පියාසර යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වූ නමුත් එහිදී ඔහු අසමත් වූ බව ඔහු පැවසීය.



ගෲප් කපිතාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ බවට පවා වාර්තා නොමැති බවයි.


පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් තම නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර සටහන් ඇතුළු වැදගත් ලියකියවිලි කිහිපයක් විනාශ වූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.තමන්ට ගුවන් හමුදාවේ තිබුණ වටිනා රැකියාව අතහැර දේශපාලනයට ආ බවත් එසේ කැපකිරීමක් කර පැමිණි තමාට සිද්ධවූ දේ ගැන විස්සෝපයට පත්ව සිටින බවත් ඔහු කීය.


“මෙම විනාසය නිසා අද මට පෙන්වන්න දෙයක් නැහැ මම ගුවනේ හිටියා කියලා.. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ දවස්වල ගුවන් යානයක් ගුවන් ගත වුණාම ඒවා ලොග්වල සටහන් කළේ ඒ කාලේ පරිගණක ගත කරන්න පහසුකම් තිබුණේ නැති නිසා. ගින්නෙන් එම සටහන් සියල්ල විනාශ කරලා"
 මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.අදාළ ප්‍රකාශයේ වීඩියෝව පහතින්