army-man-arrested-due-tofb-posts

රට තුළ ප්‍රචණ්ඩකාරී තත්වයක් හටගෙන තිබූ අවස්ථාවක ජනතාව කුපිත කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාසවලට පහර දෙන ලෙසට ඉගි කෙරෙන වැකි සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැරීම සම්බන්ධයෙන් හිටපු හමුදා  ලුතිනන්වරයෙක් නිට්ටඹුව මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

රට තුළ ප්‍රචණ්ඩකාරි තත්වයක් හටගෙන තිබූ ඉකුත් 9 වැනිදා මෙම සැකකරු මෙම ප්‍රකාශ මුදාහැර තිබූ බවද පොලිසිය පවසයි.

“තම තමන්ගේ ගෙවල් පැත්තේ ඉන්න ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අධිකාරිලත් නිලධාරින්ගේ ගෙවල් ගැනත් පොඩ්ඩක් අවධානය දෙන්න, එයාලා ලොකු සේවයක් කරනවා මේ වෙලාවේ " යැයි ප්‍රකාශ මුදා තිබූ බවද පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් යුද හමුදාව නිට්ටඹුව මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ පින්නගොල්ල උතුර නිවසට ගිය අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති අතර, පොලිසිය කළ දැනුම් දීමකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම සැකකරු යුද හමුදා සේවයේ යෙදී සිටියදී අණදෙන නිලධාරියාගේ අත්සන් ව්‍යාජව ගැසීමේ චෝදනාව මත යුද හමුදා සේවයෙන් නෙරපා ඇති බව යුද හමුදාව පවසයි. සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


-ඉන්දිකා රාමනායක-