anura-kumara-speaks

ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 1988 වසරේදී තමන්ගේ නිවසටත් ගිනිතැබූ බවත් එහි වේදනාව තමන්ද හොඳින් හඳුනන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

මැයි 9 වනදා ප්‍රචණ්ඩකාරී ක්‍රීයා සැලසුම් කළ බවට සිය පක්ෂයට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් නිවාස ගිනිතැබීමේ සිද්ධි සම්බන්ධයෙන් සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට පත්වී නොමැති බවත් ඔහු කීය.



88/89 සිදුවීම්වලින් පසු ව සිය පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ඉතා ම ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගත් බවත් ජනතා විමුක්ති පෙරමුණට විවිධ අවස්ථාවල දී විවිධ අර්බුදවලට මුහුණ පෑමට සිදු වුණත් එක ගල් කැටයක් හෝ අතට ගැනීමට උත්සාහ නො කළ බවත් ඔහු අවධාරණය කළේය.

9 වැනි දා අරලිය ගහ මන්දිරයට රැගෙන ආ අය අතර මහියංගන ඔරලෝසු කණුව ළඟ සිටි මානසික අබාධයක් සහිත යාචකයකු පවා සිටි බව යි අනුර දිසානායක හෙළි කළේ. මත්පැන පානය කර කඩු පොලු මුගුරු රැගෙන පැමිණ ඉතා සාමකාමී අරගලයක නියුතු තරුණයන්ට පහර දීම අතිශය පිළිකුල් සහගත හැසිරීමක් බවත් ඔහු අවධාරණය කළේය.



“මෙය අප විසින් සැලසුම් කොට දියත් කරන ලද ප්‍රහාරයක් කියලා පූර්ව නිගමනයක ඉන්නවා. අපි පැහැදිලිව කිව්වා එක නමක් හරි කියන්න කියලා.”

“අපව ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය දියත් කෙරෙන බව අපි දන්නවා.”

“ඒ නිසා මගේ කතාවට බාධා නොකර අවස්ථාව දෙන්න.”

“රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අපි ඇති තරම් බැට කාපු සංවිධානයක්.”

“පසුගිය සෑම මැතිවරණයකදීම වගේ අපේ සහෝදරයින් ඝාතනය වුණා..අපි ගල් කැටයක් අතින් ගත්තේ නෑ.”



“අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පෙනී සිටිය අය. ස්වාධීන පරීක්ෂණයක් කරන්න. ඕනෑම පරීක්ෂණයකට අපි ලෑස්තියි.

1988දී මගේ ගේත් ගිනිතිබ්බා. මතක තියා ගන්න. ඒ වේදනාව අපිත් දන්නවා හරිද? මැර කණ්ඩායම් පහර දෙනකොට බලං ඉන්න අපි සූදානම් නැහැ. ඒ මැර කණ්ඩායම්වලට විරුද්ධව අපි ගියා. වටවෙලා තරුණියකට පොලුවලින් පහරදෙනකොට හිතක් පපුවත් තියෙන කෙනෙකුට බලං ඉන්න පුලුවන් ද?

පස් කපලා, ගස් කපලා බිල්ඩින් හදාගත්තු මිනිස්සු..!”