පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන ලබාදී ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, “මහජනතාවගේ කලකිරීම සහ කෝපය මට තේරෙන අතරම, මන්ත්‍රීවරුන්ට සහනාධාර ඉන්ධන ලබා දෙන බවට බෙදා හරින ලද පෝස්ට් අසත්‍ය” බවයි.





දැනට මහජනතාවට ලබා දී ඇති වෙළඳපල මිලට වඩා සහන මිලට කිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සහනාධාර ලබා දී නොමැති බව විජේසේකර අමාත්‍යවරයා පැහැදිලි කළා.

පොලිස් ගරාජයේ ඩිස්පෙන්සරයේ ප්‍රදර්ශනය කර ඇති මිල ගණන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් තමන් අද පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශයක් කරන බව අමාත්‍ය විජේසේකර ප්‍රකාශ කළා.

ගිලන් රථ සහ අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කිසිවකුට ඉන්ධන පිරවුම්හල්වල වරප්‍රසාද දීර්ඝ නොකරනු ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනදායී මිලට පොලිස් ගරාජයෙන් ඉන්ධන ලබා දෙන බවට සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවීමත් සමඟ අමාත්‍ය කාංචන විජේසේකර මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා පොලිසියද මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කර ඇති අතර, පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ අවිනිශ්චිතභාවය හේතුවෙන් පොලිස් ගරාජයේදී ඔවුන්ට ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබූ බව සඳහන්.

පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති අතර එය තාවකාලික පියවරක් ලෙස ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසයි.

සහන මිලට නොව දේශීය වෙළෙඳපොළේ පවතින මිලට ඉන්ධන ලබාදෙන ලෙසට කථානායකවරයා උපදෙස් දුන් බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.