aljazeera-media-female-dead

අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන ෂිරින් අබු අක්ලෙහ් පසුගිය බදාදා දිනයේදී ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර  බටහිර ඉවුරේ පුවත් වාර්තාකරණයේ යෙදී සිටියදී ඇය මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.  මෙම අවස්ථාවේදී ඇය ඊශ්‍රායල හමුදාවන්  බටහිර ඉවුරේ ජෙනින් නගරයේ සිදුකළ මෙහෙයුමක් ආවරණය කරමින් සිට ඇති අතර, මෙම නගරය සරණාතයන් වාසය කරන ප්‍රදේශයක් ලෙස සැලකෙයි. එසේම මෙය පසුගිය දින කිහිපය පුරාම ඊශ්‍රායල හමුදාවන් නොනවත්වා එහි සිදු කළ මෙහෙයුම්හි ආසන්නතම අවස්ථාව ලෙසින්ද පලස්තීන බලධාරීන් සදහන් කරයි.



මෙම වෙඩි ප්‍රහාරයේදී ෂරීන් අසල සිටි ජෙරුසලමේ සිට ක්‍රියාත්මක Al Quds පුවත්පතේ වාර්තකරුවෙකුද තුවාල ලබා තිබේ. වාර්තාවලට අනුව ඊශ්‍රායල හමුදාවක් එල්ල කළ වෙඩි උණ්ඩයක් ෂරින්ගේ කනට පහළින් ප්‍රදේශයට වැදී තිබේ. මෙය ඇය පැළද සිටි ආරක්ෂිත හිස්වැස්මන් ආවරණය නොවන ප්‍රදේශයක් බවත් පලස්තීනයේ අසීරා නාලිකාවේ අධ්‍යක්ෂවරයා පවසා තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ඊශ්‍රායල හමුදාවද, තමන් බදාදා දිනයේ පෙරවරු කාලයේදී ජෙනින්හිදී මෙහෙයුමක් සිදු කළ බවත්, එහිදී තමන් දරුණු ප්‍රතිප්‍රහාරයකට ලක් වූ බවත් එහිදී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බවත් පවසා තිබේ.

මේ අතර අල්ජසීරා මාධ්‍යවේදිනියගේ ඝාතනය හෙළා දකිමින් ලොව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුද ඇතුළුව මාධ්‍ය සංවිධාන රැසක්ද අදහස් දක්වා තිබේ. මෙහිදී පැහැදිලිවම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, මෙය ඊශ්‍රායල රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ත්‍රස්තවාදයක් බවත් ඇතැම්හු සඳහන් කරති.