ali-sabri-sajith-parliament

ඉන්දියානු රජය විසින් ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා ලබාදුන් බිලියනයක ණය මුදලින් රුපියල් මිලියන 750ක වානේ ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතු බවත්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ස්ථාවර නියෝග 27/2 යටතේ ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.  එලෙස වානේ ගෙන්වන බවට වන වාර්තා අසත්‍ය බවත්, එය නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක් පමණක් බවත් ඊට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී සහ දූෂණ කළමනාකරණය රටේ ජනතාව අන්ත අසරණභාවයට පත්  කළා. බඩගින්න, නොනවතින පෝලීම්, අඳුර හා උග්‍ර ජීවන වියදම දරාගන්න නොහැකි වූ  පුරවැසියන් තම දුම්ගැනවිලි සඳහා සංවේදී නොවන ආණ්ඩුවට එරෙහිව මහපාරට පැමිණියා.

තැන තැන මතුවූ විරෝධතා අද ගෝඨාගම නොනවතින ආණ්ඩු විරෝධී අරගලය දක්වා දිග්ගැස්සී තිබෙනවා. එහෙත් ආණ්ඩුව තවමත් නින්දේ. ජනතා ප්‍රශ්න එසේමයි. අද මේ මොහොත වන විට රටේ විරැකියා ප්‍රතිශතයේ අගය කොපමණද? පසුගිය වසර දෙක තුළ රටේ සමස්ත ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක ජනතාවක් දුගීභාවයට වැටී තිබේද?

2022 මාර්තු මස වන විට දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රටේ සමස්ත ණය බර රාජ්‍ය සමාගම්ද ඇතුළුව කොපමණද? 2019ට සාපේක්ෂව එය කොපමණ ප්‍රමාණයකින් වැඩිවීමක්ද? වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ට බදු සහන ලබාදීම මගින් රජයේ ආදායම කොපමණ ප්‍රමාණයකින් අඩු වුණේද? ඉහත බදු සහනය තුළින් සෘජු බදු ගෙවන්නන් හා වක්‍ර බදු, එකතු කළ අගය මත බදු ගෙවන්නන්ගේ කොපමණ සංඛ්‍යාවක අඩුවීමක් සිදු වුණාද? ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ මිලදී ගැනීම සඳහා ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ණය මුදලෙන් ඉතිරිව ඇති ඩොලර් මිලියන 750ක මුදලකට වානේ ආනයනයට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා. එය සත්‍යක්ද?

මුදල් අමාත්‍ය අලි සබ්රි - මේක මේ ඇඟිල්ල දිගු කරන ප්‍රශ්නයක් නෙවෙයි. ඊට වඩා ඔබට ගිය ජාතික ප්‍රශ්නයක්.

මේ අවස්ථාවේදී අපි කටයුතු කළ යුත්තේ පුරුදු විදියට ඇඟිල්ල  දිගු කරනවා වෙනුවට ජාතික ප්‍රතිපත්තියකට එකතු වීමයි. පළවෙනි ප්‍රශ්නය 2021 වර්ෂයේ විරැකියා ප්‍රතිශත අනුපාතය 5.1යි. මූලාශ්‍රය ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තාව 2021. දෙවැනි එක ඇස්තමේන්තු ජනගහන දරීද්‍රතා අනුපාතය අනුව 2019දී 14.3යි. තුන්වෙනි එක 2022 මාර්තු මාසය අවසානයේදී නොපිය වූ රාජ්‍ය ණය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත මෙතෙක් ලැබී නොමැත. 2019 අවසානයේදී ට්‍රිලියන 14.15ක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. 2021දී ට්‍රිලියන 19.45න් වැඩි වෙලා තිබෙනවා. පස්වෙනි එක වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග 2019 වසර අවසානයේදී බදු ප්‍රතිසංස්කරණ පැකේජෝයක් හඳුන්වා දුන් අතර, එය හුදෙක් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් පමණක් ඉලක්කරගෙන කරන ලද ප්‍රතිසංස්කරණයක් නොවන අතර බදු ගෙවීමට හිමිකම් ඇති සමාජයේ සියලුම ස්ථරයන් නියෝජනය වන පරිදි සිදු කරන ලද්දකි.

ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශකය අනුව ලෙබනනය2019 වර්ෂයේ රජයේ ආදායමට සාපේක්ෂව ණයවලට ගෙවන පොලිය 50%ක් වූ අතර, එය රාජයේ ආදායමට සාපේක්ෂව රජයේ ණයවලට වැඩිම පොලිය ගෙවන රට විය. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව 2020 වර්ෂයේදී මෙම අගය 71.4%ක් ලෙස වාර්තා කරමින් දර්ශකයේ පළමු ස්ථානය ශ්‍රී ලංකාව තිබෙනවා.

ඊළඟ ප්‍රශ්නයට පිළිතුර 2022 අප්‍රේල් අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත මටම එක්සත්  ජනපද ඩොලර් බිලියන 1.9ක් වූ අතර එහි සංයුතිය පහත සංඛ්‍යාව අනුව සැකසේ. දැනට පවතින නිල සංචිත ප්‍රමාණය ආනයනය මූල්‍යනය කිරීමට අමතරව තවත් අවශ්‍යතා සඳහා යොදා ගන්නා අතර, ආනයනය මූල්‍යනය සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා හැකි පමණින් පවතින විදේශ සංචිත ප්‍රමාණයට යටත්ව පහසුකම් සලසා ඇත. ඒ වගේම ඩොලර් මිලියන 750ට යකඩ ගෙන්වීම සඳහා කටයුතු කරා කියන එක සම්පුර්ණ අසත්‍යක්. ඒක නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක්.


 -දිනේෂ් සමරකෝන්-