negombo-incident

මාස හයක බිලිඳියක් මරා වැසිකිළි වළක සගවන ලද බව කියන තරුණ දෙමවුපියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් බිළිඳියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසත් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික දිල්වා මහතා පෙරේදා (04දා) රාත්‍රී සිදුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.



සිද්ධිය වූ බව කියන ස්ථානයට පැමිණ සිදු කළ ස්ථානීය පරික්ෂාවකින් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.  සීදූව දබරදුරයේ තුම්මුල්ලවත්ත ප්‍රදේශයේ නිවසේ වැසිකිළි වළක තිබූ බිලිඳියගේ මළසිරුර ගොඩගැනීම වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු විය. පොලීසිය විසින් මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම තරුණ යුවළ අතර ඇතිවූ හදිසි ආරවුලකදී දරුවාගේ ගෙල සිරකර මව විසින් ළිදට දමා ඇති අතර පසුව සිද්ධියෙන් බියට පත්වී ඇති දෙමවුපියන් දෙදෙනාම එකතු වී දරුවා ළිදෙන් ගොඩගෙන වැසිකිළි වළේ සගවා ඇති බව පොලීසිය පවසයි. සීදූව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධනුක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් එහි නිලධාරි පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.